කෝබට් ගැප් එහෙමත් නැතිනම් අට්ටලවෙට්ටුව කියන්නේ නක්ල්ස් කදුකරයේ හමුවන දැකුම්කළු නැරඹුම් ස්ථානයකි. ඔබ කෙදිනක හෝ මහනුවර සිට මීමුරේ ගම්මානයට ගොස් ඇතිනම් නිසැකවම මෙම ස්ථානය හමුවන්නට ඇත. මෙය පිහිටා ඇත්තේ මහනුවර සිට කිලෝමීටර 60ක්, හුන්නස්ගිරිය නගරයේ සිට කිලෝමීටර 20ක් හා මීමුරේ සිට කිලෝමීටර 15ක පමණ දුරකිනි. තවද මෙම ස්ථානයට තෙල්දෙණිය තංගප්පුව ගම්මානයේ සිට ඇති දුර කිලෝමීටර 6කි.
කෝබට් ගැප් හෙවත් අට්ටලවෙට්ටුවේදී හුන්නස්ගිරිය සිට මීමුරේට යන මගත් තංගප්පුව සිට මීමුරේට යන මගත් එකට හමුවේ. එබැවින් එය තුන්මං සන්ධියකි. හුන්නස්ගිරිය-මීමුරේ මාර්ගයේ උසම ස්ථානය වන්නේද මෙම ස්ථානයයි. එහි උස මුහුදු මට්ටමේ සිට මීටර 1200කට ආසන්නය.
අට්ටලවෙට්ටුවේදී ඔබට නක්ල්ස් දකුණු කෙලවරේ හා මධ්‍යයේ පිහිටි ප්‍රකට කදු ශිඛර කීපයක්ම ඉතා මනරම්ව දැකිය හැකිවේ. ඒ අතර නක්ල්ස් කදු පහ (1864M), අලියා වැටුනු ඇල කන්ද (1557M), ලකේගල (1319M), වමාරපුගල(1520M), කිණිහිරගල 1, කිණිහිරගල 2, කොබෝනීලගල, දෝතළුගල, දුම්බානාගල (1644M), අලුගල්කන්ද ප්‍රධාන වේ. ඈතින් පෙනෙන මෙම කදුවල දර්ශනය අතිශයින්ම දැකුම්කලුබව අප කිව යුතුමය. තවද මෙම ස්ථානයට පැමිණීමට පෙර ඔබට නක්ල්ස් වල තවත් ශිඛර කීපයක් වන නවනගල, ගැරඩිගල, කෙහෙල්පත්දොරුව, හා යහන්ගලද දැකිය හැකිවේ.
මෙම මනරම් නැරඹුම් ස්ථානයේ ඇති අසිරිය නිසාම මීමුරේට යන බොහෝ දෙනෙක් මෙම ස්ථානයේ නැවතී එහි අසිරිය විදගැනීමට කිසිසේත්ම අමතක නොකරති. අට්ටලවෙට්ටුව යනු තවද දරුණු සුලං පවතින ස්ථානයකි. මෙය නක්ල්ස් කදුකරයේ සුලං එලියට ගමන් කරන ප්‍රධාන සුලං කපොල්ලකි. මේ නිසාම මේ අවට ඇත්තේ නිරන්තර වෙනස්වන කාලගුණ තත්වයකි.
කෝබට් ගැප් වලට එම නම ලැබී ඇත්තේ මෙම ප්‍රදේශයේ මිනුම්දොරු කටයුතු කල බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන කෝබට් නම් මිනුම්දෝරුවාට ගෞරවයක් ලෙසයැයි තවද පැවසේ. කෙසේවූවත් ඔබ කෙදිනක හෝ මීමුරේ ගම්මානයට සංචාරය කරන්නේ නම් මෙහිදිද නැවතී එහි අසිරිය විදින ලෙස අප ඉල්ලා සිටිමු.