අම්බුලුවාව යනු මහනුවර දිස්ත්‍රික්කය තුළ පිහිටි අමුතු හැඩයෙන් යුතු අපූර්ව සංචාරක ස්ථානයකි. ඔබ ගම්පොල හරහා නුවරඑළියට හෝ නාවලපිටිය හැටන් ප්‍රදේශ වලට සංචාරයට යන්නේ නම් ඔබට සංචාරය සදහා යා හැකි තවත් සුවිශේෂී ස්ථානයක් වන්නේ මේ ගම්පොල අම්බුලුවාව සෑයයි. මෙය ගම්පොල නගරයට පැමිණෙන හැමෝටම පෙනෙන කදුමුදුනක පිහිටි ධවල පැහැ අරුම පුදුම නිර්මාණයකි.
ඔබ මෙම ස්ථානයට ලගාවීමට ගම්පොල හෙම්මාතගම මාර්ගයේ ගමන් කළ යුතුය. බසයක ගමන් කරන්නේ නම් ගම්පොල හෙම්මාතගම මාර්ගයේ ගමන් කළ විට කිලෝමීටර් 5 පමණ දුරකින් අම්බුලුවාවට පිවිසෙන ප්‍රධාන පිවිසුම හමුවේ. එතනින් බැස කදු මුදුනට ඔබ කිලෝමීටර 2ක් පමණ පයින් ගමන් කළ යුතුය. ඔබ ඔබේම වාහනයකින් ගමන් කරන්නේ නම් කදු මුදුනටම වාහනයෙන් ගමන් කළ හැකිය. මෙහිදී කදු මුදුනට යාමට ඔබ ටිකට් පතක් මිලදී ගත යුතුය.
අම්බුලුවාව යනු අක්කර 927 ක භූමියකින් යුතු සුන්දර පරිසර පද්ධතියකි. මෙහි සතුන් හා ශාක විශාල ප්‍රමාණයක් සහිත ඉහළ ජෛව විවිධතවයක් ඇත. මෙහි අපෘෂ්ඨවංශික සතුන් රැසකි. කෘමීන් හා කුරුමිණි වරග රැසක් ඇති අතර සමනල වර්ග 20ක් ද ඇති බව පැවසේ. උරග විශේෂද 43ක් පමණ ඇති අතර ඉන් 23ක් අප රටට ආවේණිකය. කුඩා කනඋල්ලාගේ සිට විශාල පිඹුරා දක්වා සර්ප වර්ග 24ක් මෙම පරිසර පද්ධතියේ ඇත. පක්ෂි විශේෂද 90ක් පමණ ඇති බව පැවසේ.
කන්දේ නැගෙනහිර පැත්ත කලු ගලකින්ද අනෙක් පස වනාන්තර පරිසර පද්ධතියකින්ද මෙම භූමිය සමන්විතය. කදු මුදුන පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට අඩි 3567ක උසකිනි. මෙම කදුවැටිය සංවර්ධනය කිරීම 1997දී ඇරඹී ඇති අතර 2002දී මෙය ලොව හොදම සංවර්ධිත කදුවැටිය බවට පත්විය. 2007 වසරේ සැප්තැම්බර් 18 දින මහජනතාවට මෙය විවෘත විය. මෙම කදුවැටිය මුදුනේ ඇති ගොවිජන සෑය සර්ව ආගමික ස්ථානයක් ලෙස සැලකේ. වී බිස්සක හැඩයට නිර්මිත මේ සෑය මගින් ගොවි ජනතාව නියෝජනය වේ. මෙම සෑය අඩංගු Tower එක උසින් අඩි 400ක් පමණ වේ. මෙහි විහාරගෙය තුළ බුදු පිළිමයකින්ද සමන්විතය.
මෙම සෑයේ ඉහළට නැගීම අතිශය ත්‍රාසජනක අත්දකීමකි. සෑය මැදින්ද මෙහි ඉහලට යෑමට හැකි වුවත් එහිදී සෑය වටින් ගමන් කිරීමේදී ලැබෙන ත්‍රාසය උරුම නොවේ. ත්‍රාසය උපරිම වන්නේ මේ Tower එකේ ඉහලට යෑමේදීය. අවටින් ඇති පඩිපෙල සහිත මාර්ගය එන්න එන්නම කෙටි වන අතර සෙනග සහිත දිනවලදී මෙම මාර්ගයේ ඉහලට යන අය හා පහලට යන අය මාරු වන්නේ ඉතාම අපහසුවෙනි. සමහර තැන්වල මෙසේ මාරු වීමට ගුහා වැනි ස්ථාන ඇත. මේ Tower එකේ ඉහලට අධික සුලගක් ඇති බැවින් ත්‍රාසය උපරිම වේ. ඔබ ඉහල තැන්වලට බය කෙනෙක් නම් මෙහි ඉහළට ගමන් කිරීමෙන් වලකින්න.
මෙම සෑයේ ඉහලට පෙනෙන වටේ දර්ශනය අතිශය සුන්දරය. ගම්පොල නගරය සම්පූර්ණයෙන්ම පෙනෙන අතර අනෙක් පසින් පුස්සැල්ලාව කොත්මලේ ප්‍රදේශ දර්ශනය වේ. මෙම කදුවැටියට පිදුරුතලාගල, නක්ලස්, හුන්නස්ගිරි, peacock hill, සප්ත කන්‍යා, නමුණුකුල කදුවැටිත් දර්ශනය වේ. එසේම කඩුගන්නාව, බලන, නෙල්ලිගල ප්‍රදේශත් මෙහිදී පැහැදිලිව දැකිය හැකිය.
ඔබ ගම්පොල හරහා සංචාරය කරන්නේ නම් මේ අම්බුලුවාව සෑය නැරඹා මෙහි ත්‍රාසජනක බව විද ගැනීමට පැමිනෙන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. එසේම මෙම පරිසර පද්ධතිය මතු පරපුරටත් උරුම කරලීමට මෙය විනාශ වන ආකාරයේ කිසිම ක්‍රියාවක් නොකරන ලෙසද අප ඔබෙන් ඉල්ලමු.
(Ambuluwawa Featured-Image Source: SL Tripper )