බඹරකන්ද දිය ඇල්ල යනු ලංකාවේ උසම දිය ඇල්ල වන අතර එය ලෝකයේ උසින් වැඩිම දිය ඇලි අතර 299 වන තැන ගනී. මෙහි උස මීටර 263ක් එනම් අඩි 863කි. එසේම මෙම දිය ඇල්ල සුන්දරත්වය අතින් ලංකාවේ පමණක් නොව ලෝකයේම සංචාරකයින් අතර බෙහෙවින් ජනප්‍රියය. මෙම දිය ඇල්ල ‘බඹරකැලේ’ ඇල්ල යන නමින්ද හදුන්වනු ලබන අතර මෙය නිර්මාණය වන්නේ වලවේ ගගේ අතු ගංගාවක් වන කුඩා ඔයෙනි. හෝර්ටන්තැන්නෙන් ආරම්භ වන වලවේ ගග පසුව කුඩා අතු ගංගා කිහිපයකටම වෙන්වන අතර එහි එක් අතු ගංගාවක් වන්නේ මේ බඹරකන්ද ඇල්ල නිර්මාණය කරන කුඩා ඔයයි. ඇල්ලේ පහලදී නැවත කුඩා ඔය වලවේ ගග හා එකතු වේ.
ඔබ මේ දිය ඇල්ල නැරඹීමට පැමිණේ නම් ඒ සදහා කොළඹ – බදුල්ල මාර්ගයේ එනම් A4 මාර්ගයේ ගමන් කළ යුතුය. කොළඹ සිට ගමන් කරනවිට බෙලිහුල්ඔය පඹහින්න පසුකල විට හමුවන කලුපහන හන්දියෙන් බැස එතැන් සිට කිලෝමීටර 5ක් පමණ ගමන් කළ විට ඔබට මේ සුන්දර බඹරකන්ද දිය ඇල්ල හමුවේ. කලුපහනදී ඔබට මේ දිය ඇල්ලට යන මාර්ගය පෙන්වන නාම පුවරුවක් දැක ගත හැකි බැවින් යා යුතු මාර්ගය පිළිබඳව සැකයක් ඇති නොවේ. මෙම මාර්ගයේ දී හමුවන වීරකෝන් ගම පසු කර කිලෝමීටර 4ක් පමණ ගිය පසුව ඇල්ලට යන වනාන්තර මාර්ගය හමුවේ. මෙකී වීරකෝන් ගම හරහා ගමන් කිරීමේදී හමුවන වෙළද සැල් වලින් ඔබට අවශ්‍ය ආහාර හා අනෙකුත් දේවල් සපයා ගත හැකිය.
ඔබ වාහනකින් පැමිණේ නම් වනාන්තර මාර්ගයට ඇතුලු වීමට පෙර ඔබේ වාහනය නවතා තැබීමට මෙහි ඉඩකඩ ඇත. මෙහිදී ඔබ වනාන්තර මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගමන් කළවිට අප මේ කතා කරන බඹරකන්ද දිය ඇල්ල ඔබට හමුවේ. ඔබට මෙහි යාමට රුපියක් 20ක් වන ටිකට් පතක් මිලදී ගැනීමට සිදුවන අතර එකී ටිකට් පත හරහා උපයන මුදල් මෙම ඇල්ලට යන මාර්ගය නඩත්තු කිරීමට හා ඇල්ල අවට පරිසරය සංරක්ෂණයට යෙදවේ.
දිය ඇල්ල අසල තිබෙන වේදිකාවේ සිට ඔබට මේ සුන්දර බඹරකන්ද දිය ඇල්ලේ විච්ත්රත්වය අත්විදිය හැකි අතර මෙම ස්ථානය ලංකාවේ අනෙක් දිය ඇලි මෙන් නොව දිය නෑමට ඉතා සුදුසුය. නමුත් ඇල්ල වැටෙන ස්ථානය අසල ගැඹුර වැඩි බැවින් එම ස්ථානයට යාමෙන් වලකින්න. එසේම දිය ඇල්ල පහල කොටසේද දිය නෑමට සුදුසු ස්ථාන රැසකි.
නියග කාලයට කදුකර ඉහල ප්‍රදේශවලදී වගා කටයුතු සදහා යොදා ගන්නා බැවින් දිය ඇල්ලේ දිස්වන්නේ බොහෝ තුනී ආකාරයෙනි. එසේම මෙම දිය ඇල්ල අසලම තවත් සුන්දර දිය ඇලි දෙකක් වන ලංකා ඇල්ල හා යාලතැන්න ඇල්ල පිහිටා ඇති අතර ඔබට මේ බඹරකන්ද ගමනේදීම ඒ දිය ඇලි දෙකේ සුන්දරත්වයද අත්විදිය හැකිය.
එසේනම් ඔබ කොළඹ – බදුල්ල මාරගයේ බදුල්ලට, හපුතලේට හෝ බණ්ඩාරවෙලට ගමන් කරන්නේ නම් මේ දිය ඇල්ල නරඹා යෑමටද අමතක නොකරන්න.
(Bambarakanda Ella Feature Photo Credit Goes To: Himesh Hansamal )