බෝඹුරු ඇල්ල එහෙමත් නැතිනම් පේරවැල්ල ඇල්ල පිහිටලා තියෙන්නේ බදුල්ල නුවරඑලිය දිස්ත්‍රික්ක මායිමට සමීපව ඌව පරණගම ප්‍රාදේශිය ලේකම් වසමේය. මේ දිය ඇල්ල ලංකාවේ ඇති පළලින් වැඩිම දිය ඇල්ල ලෙසද සැලකේ. වැලිමඩ සිට කිලෝමීටර 15ක් පමණ දුරින් පේරවැල්ල ගම්මානයේ සීතාඑළිය කඳපොල රක්ෂිතයේ මේ සුන්දර බෝඹුරු ඇල්ල පිහිටා ඇත.

මහවැලි ගංගාවේ තවත් අතුගංගාවක් ලෙස සැලකෙන දුල්ගල ගග ගල් තලාවකින් කොටස් හතරකට බෙදී ඇද හැලීම තුළින් මෙම දිය ඇල්ල නිර්මාණය වේ. ඇල්ලේ උස මීටර 50ක් පමණ වන අතර පළල මීටර 20ක් පම්ණ වේ. දිය ඇල්ලෙන් පහල කොටස උමා ඔය ලෙස හැදින්වෙන බව මූලාශ්‍ර සදහන් කරයි.

ඔබ මහනුවර සිට මෙහි පැමිණෙන්නේ නම් නුවරඑළිය හරහා වැලිමඩටත් කොළඹ සිට එන අය බණ්ඩාරවෙලට පැමිණ එහි සිට වැලිමඩට මුලින්ම පැමිණිය යුතුය. වැලිමඩ නගරයේ සිට උඩුහාවර හරහා බෝඹුරු ඇල්ලට බසයක් ඇත. ඔබ ඔබේම වාහනයකින් පැමිණේ නම් වැලිමඩ සිට ඌව පරණගම මාර්ගයේ අඹගස්දෝව හන්දිය, හිඹිලියගහමඩිත්ත මුදනාව හන්දිය පසුකර කිලෝමීටර 11ක් පමණ ගිය විට බෝඹුරු ඇල්ල ට යන අඩි පාර හමුවේ. ඔබ මේ ඇල්ලට යන්නේ නම් ගම් වැසියන්ගෙන් ඒ සදහා විස්තර අසාගෙන යන්න. අඩි පාර දිගේ කිලෝමීටර 2ක් පමණ ගියවිට ඔබට මේ දිය ඇල්ල හමුවේ. යන මාර්ගය අවට සුන්දර කෙත්වතු හා තුරු ලතා වලින් ගහණය. මෙම ගමන් මගේ කූඩැල්ලන් බහුල බැවින් ඔබ ඊට ලෑස්ති වී ගමන් කරන්න.

ජෛව විවිධත්වයෙන් අනූන මෙම පරිසරය ඉංග්‍රීසීන්ගේ සමයේ සතුන් දඩයමි කළ බිමක් ලෙසද හැදින්වේ. ඇල්ලේ හඩ විශාල අතර එයින් නැගෙන පින්න මීටර 30ක් පමණ ඈතට විසිවේ. ඇල්ලට පහළින් ඔබට දිය නෑමට සුදුසු තැනක්ද ඇත. බෝඹුරු ඇල්ලේ ඉහලට මීදුම ගලන විට ඇල්ල තවත් සුන්දරය. ඇත්තෙන්ම මේ දිය ඇල්ල දිහා කොතරම් බලා සිටියත් එපා නොවේ. ඒ තරම්ම මේ දිය ඇල්ල චමත්කාරජනකය.

එකල දෙවන රාජසිංහ රජුගේ ඇතෙකු හා බැදුණු ජනප්‍රවාදයක් මේ ඇල්ල පිහිටි ගම වටා බැදී ඇති බව කියැවේ. කෙසේවුවද අදටත් මේ දිය ඇල්ල ලංකාවේ බොහෝ සංචාරකයින් අතර අප්‍රකටය. දැන් දැන් බොහෝ දෙනෙක් මේ බෝඹුරු ඇල්ල බැලීමට යන නිසා සුන්දර පරිසරයද විනාශ වෙමින් පවතින බව අපට අසන්නට ලැබුණි. ඒ නිසා ඔබත් මේ සුන්දර දිය ඇල්ල බැලීමට යන්න. ඒත් ඒ අවට තිබෙන සුන්දර පරිසරය නම් කිසිවිටෙක විනාශ නොකරන්න.

(Boburu Ella Featured Photo Source: Travel with chathu )

By ishara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *