අද අප කතා කරන්නට සැරසෙන්නේ ලංකාවේ ප්‍රසිද්ධම දිය ඇලි ලැයිස්තුවට අයත් ඉතාමත් ප්‍රසිද්ධ දිය ඇල්ලක් වන සුන්දර බෝපත් ඇල්ල ගැනයි. රත්නපුර නගරයට වගේම කුරුවිට නගරයටත් ආසන්නයේ පිහිටි මේ දිය ඇල්ල සංචාරකයින්ගෙන් නිතරම පිරී පවතින ස්ථානයක් ලෙස සදහන් කළ හැකිය. මූලාශ්‍ර වලට අනුව මේ දිය ඇල්ලේ උස අඩි 95ක් එනම් මීටර 30ක් පමණ වේ. මේ දිය නිර්මාණය වන්නේ කළු ගගේ අතු ගංගාවක් වන කුරු ගග මගිනි.

බෝපත් ඇල්ලට ඒ නම ලැබී ඇත්තේ හොදින් ජලය ඇති කාලයට එය බෝකොළයක ආකාරයෙන් ජලය විහිදුවමින් කඩා හැලෙන නිසාවෙනි. දිය ඇල්ල පිහිටා ඇත්තේ කුරුවිට අගල්වත්ත ගමේ වන අතර එයට ලගාවිය හැකි මාර්ග දෙකකි. ඉන් පළමු වැන්න කොළඹ රත්නපුර මාර්ගයේ හිග්ගස්හේන හන්දිය හරහා වැටි ඇති අතර අනෙක් මාර්ගය වැටී ඇත්තේ කුරුවිට පොලීසිය අසලිනි. ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර 3ක පමණ දුරක් යාමෙන් ඇල්ල වෙත ගමන් කළ හැකිය. Google Maps වලින් ස්ථානය පහසුවෙන් සොයාගත හැකිය.

මෙම දිය ඇල්ල ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටා ඇති අතර එය බැලීමටනම් ඔබ ටිකට් පතක් ගැනීම අනිවාර්‍ය වේ. කුරුවිට ප්‍රාදේශීය සභාව මගින් ඇල්ල අසල රථ ගාලක්, නැරඹුම් මැදිරියක් හා වැසිකිලි පහසුකම් සපයා ඇත. එසේම මේ අසලම පෞද්ගලික අංශය මගින් සපයන නේවාසික පහසුකම්ද ඇත. ඇල්ලට පිවිසෙන මග දෙපසද වෙළදසැල් රැසක් ඇති අතර එමගින් ඔබට ඔබේ අවශ්‍යතා ඉටුකර ගත හැකිය.

පටු විවරයක් හරහා ඉතාමත් රමනීය දර්ශනයක් විහිදුවාලමින් කඩා හැලෙන මෙම දිය ඇල්ල අවට ප්‍රදේශය ජෛව විවිධතවයෙන් ඉහලය. මෙම ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 5000 ක් පමණ වන අතර මේ දිය ඇල්ල ලංකාවේ පුලුල්ව අධ්‍යනය කළ දිය ඇල්ලක්ද වේ.

බෝපත් ඇල්ල අසල දිය නෑම භයානක වන අතර මේ ඇල්ල අවට දිය නෑමට ගොස් මියගිය සංඛ්‍යාව 80කට වැඩි බව අපට අසන්නට ලැබුණි. දිය ඇල්ල අවට කලාපයේ නිධානයක් ඇති බව පැවසෙන අතර මේ කලාපයට සුමන සමන් දෙවියන්ගේ බැල්ම පවතින බවද අපට අසන්නට ලැබුණි. එකළ පාලකයින් දිය නෑමටද මෙම ඇල්ල අසල කලාපය භාවිතා කළ බව ජනප්‍රවාද සදහන් කරයි. කිසිමවිටෙක ඇල්ලේ ඉහළ කලාපයට යාමට උත්සහ කරන්න එපා. එය අතිශය භයානක වේ. තවද පොලිතීන් ප්ලාස්ටික් වලින් මෙම කලාපය විනාශ නොකරන ලෙසද අප කාරුණිකව ඉල්ලා සිටිමු. එසේම මත්පැන් පානය කරමින් අශීලාචාර ලෙස හැසිරීමෙන්ද වලකින්න.

(Bopath Ella Cover Image: Varuna Kahawatte )

By ishara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *