Dalawella Beach in Galle

දලවැල්ල වෙරළ තීරය යනු ලංකාවේ දකුණු පළාතේ ගාල්ල නගරයට ආසන්නව පිහිටා ඇති තවත් සොදුරු සංචාරක ඉසව්වකි. මෙය සුප්‍රසිද්ධ උණවටුන වෙරළ තීරයට ආසන්නයේම පිහිටි තවත් මනරම් වෙරළ තීරයක් බව කිව යුතුමය. දේශීය සංචාරකයින්ට වඩා මේ ස්ථානය විදේශීය සංචාරකයින් අතර අතිශය ජනප්‍රිය එකකි. ඒ සදහා හේතු කීපයකි. කෙසේවූවද දලවැල්ල යනු වෙරළ සංචාරකයට කැමති ඕනෑම සංචාරකයෙකු යා යුතු තවත් කදිම තෝතැන්නකි.

ශ්‍රී ලංකාවේ දකුණු පළාත ගත්කළ එය මනරම් වෙරළ තීරයන් රැසකින්ම හෙබිය. ඒවා අතර හික්කඩුව, උණවටුන, තංගල්ල, වැලිගම, බෙන්තොට හා මිරිස්ස වෙරළ තීරයන් ප්‍රමුඛ වේ. මේවා විශේෂයෙන්ම දේශීය සංචාරකයිනට වඩා විදේශ සංචාරකයින් අතර වඩා ප්‍රචලිත වේ.

අද අප කතා කරන දලවැල්ල වෙරළ වෙත ප්‍රවිශ්ඨ වීම එතරම් අපහසු නොවේ. එය උණවටුනට ආසන්නයේ ගාල්ල නගරයේ සිට කිලෝමීටර් 8ක දුරකින් පිහිටයි. කොළඹ සිට ගත්කළ එයට දුර කිලෝමීටර 150කට ආසන්න අගයකි. උණවටුනේ සිට ත්‍රී රෝද රථයෙන් විනාඩි 10ක පමණ කාලයකින් මේ වෙත ගමන් කළ හැකිය.

පොල්ගස් තීරයකින් හා මනරම් වැල්ලකින් හෙබි මේ වෙරළ තීරයේ නිහැඩියාව ගොඩට ඇදෙන රැලි වල ශබ්දයෙන් සැමවිටම මැකී යයි. දිගු වෙරළ තීරයක් නිසා ඔබට ඇවිදමින් දිගු දුරක් මෙහි ගමන් කළ හැකිය. වෙරලේ එක් පසක කලපුවකින් යුතු අතර එහිද ඔබට යා හැකිය.

දලවැල්ල වෙරළ තීරය සමාජ ජාලවල වඩා ප්‍රසිද්ධ වී ඇත්තේ ප්‍රධාන ආකාර දෙකක් නිසාය. ඉන් එකක් වන්නේ දිගු පොල් ගසක එල්ලී පැදීමේ ක්‍රියාකාරකමයි. එය ලාංකිකයින්ට වඩා විදේශීකයින් අතර වඩා ජනප්‍රිය වේ. මෙමයින් සුදු වැල්ලට හා රැල්ලට උඩින් පැද්දීමට හැකිවේ. එය තවත් සමහරෙකුට එක් කරන්නේ අමුතුම ආශ්වාදයකි.

මින් අනෙක් ජනප්‍රිය කාරණාව වන්නේ වෙරළේ ඇති විශාල ගලක් මත ඉද ඡායාරූප ගැනීමයි. එය ඉතාම දැකුම්කලු ඡායාරූප ගැනීමට කදිම පසුබිමක් සපයන තැනකි. මේ නිසාම මෙහි එන බොහෝ දෙනා ඒවා සමාජ ජාලවලට බෙදාගනී එමගින් මේ වෙරළ තීරයද දෙස් විදෙස් සංචාරකයින් අතර ජනප්‍රිය වීමද සිදුවේ.

දලවැල්ල වෙරළ තීරයේ ඇති අනෙක් සුවිශේෂී කාරණාව වන්නේ කැස්බෑවුන් ය. ඔවුන් මෙහි ඇති කලපුව ආශ්‍රිතව බිත්තර දමන අතර එහි කුඩා පැටවුන් වෙරළ වෙත ඇතී ගොස් පිහිනා යාම නැරඹීමට අපූරු සිදුවීමකි. විදේශිකයින් මෙම කැස්බෑවුන් සමග එකට පිහිනමින් විනෝද වේ.

දලවැල්ල වෙරළ යනු දිය නෑමට මෙන්ම තවද ජල ක්‍රීඩා සදහා උචිත ස්ථානයකි. මේ නිසාම විශාල විදේශීය සංචාරකයින් පිරිසක් මෙහි පැමිණෙති. ඔවුන් උදෙසා ඉදිවූ සංචාරක ලැගුම්හල් විශාල ප්‍රමාණයක්ම මේ අවට ඇත.

ඔබද දකුණු පලාතේ හෝ ගාලු පුරවරයේ සංචාරය කරන්නේ නම් මෙහි යාමටද අමතක නොකරන්න. එය ඔබට තවද සොදුරු නවාතැනක් වනවා නොඅනුමානය. තවද ඔබ මෙම වෙරළ දූෂණය නොකිරීමටත් විදේශීය සංචාරකයින්ට කරදර නොකිරීමටත් මෙන්ම කැබෑවුන් වැනි සතුන්ට කරදර නොකිරීමටත් වග බලා ගන්න.

(Dalawella Beach Image Source: @backpackertampan from IG)

By ishara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *