දියලුම ඇල්ල යනු ලංකාවේ දියඇලි නාමාවලියේ උස අනුව තුන්වන උසම දිය ඇල්ලයි. මෙය උසින් මීටර 171 ක් වන අතර ලෝකයේ උස අතින් ගත් කල 361 වන දිය ඇල්ලයි. ඉතාම ලස්සන දියඇල්ලක් වන මෙහි සුන්දරත්වය නැරඹීමට දේශීය සංචාරකයින් මෙන්ම විදේශීය සංචාරකයිනුත් විශාල ප්‍රමාණයක් පැමිණේ.

මෙම දියලුම දිය ඇල්ල පිහිටා ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ කොස්ලන්ද ප්‍රදේශයේය. දිය ඇල්ලට ලගා වීමට ඔබ බෙරගල වැල්ලවාය මාර්ගයේ බෙරගල හන්දියේ සිට කිලෝමීටර 24ක් පමණ ගමන් කළ යුතුය. එසේම ඔබ වැල්ලවාය සිට පැමිණෙන්නේ නම් කොස්ලන්ද දෙසට කිලෝමීටර 12ක් පමණ ගමන් කළ විට 124 සැතපුම් කණුව අසල මෙම දිය ඇල්ල හමුවේ. මෙම මාර්ගය අසල සිට දිය ඇල්ලේ චමත්කාරය නැරඹිමට ඔබට හැකිය.

සමහරක් ඉතා දුෂ්කර ගමන් මගක් ඔස්සේ ගමන් කර දිය ඇල්ලේ මුදුනට ලගාවන අතර ඒ සදහා ඔබට කොස්ලන්ද සිට පූනගල බණ්ඩාරවෙල මාරගයේ ගමන් කළ යුතුය. දිය ඇල්ල මුදුනත ඇත්තේ අමුතුම ලස්සනකි. සමහරු එහි මුදුනේ දිය නාති. එහෙත් මෙහි මුදුනට ඔබ යන්නේ නම් ඔබේ ආරක්ෂාව කෙරේ වැඩි අවධානයක් ලබා දෙන්න. මන්ද පොඩි වැරදීමක් ඔබේ ජීවිතයට ලොකු බලපෑමක් කල හැකි නිසාවෙනි.

මෙම දිය ඇල්ල පෝෂණය වන්නේ පූනගල ඔයෙනි. එසේම මෙම දිය ඇල්ල වටාද සැදුනු ජනප්‍රවාදයක් ඇති බව ආචාර්‍ය ආර්.එල්.බ්‍රොහොයර් පවසයි. ඔහුට අනුව ලංකාවේ සිටි පැරණි රජෙකු හා කුලයෙන් අඩු කාන්තාවක් අතර සබදතාවක් මෙම දිය ඇල්ල වටා ගෙතී ඇත.

එසේනම් ඔබ බදුලු පුරවරයේ සංචාරයට පැමිණෙන්නේ නම් මෙම සුන්දර දියලුම ඇල්ල නැරඹීමටද පැමිණීමට අමතක නොකරන්න. කොළඹ සිට කෝච්චියේ බදුල්ලට එන්නේ නම් හපුතලේ ට පැමිණ කෙටි කාලයකින් මෙම ඇල්ල බැලීමට පැමිණීමට ඔබට හැකිය.

(Diyaluma Falls Image Credit: Sandu Fonseka )

By ishara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *