Eljin Waterfall

එල්ජින් ඇල්ල නම්වූ අද අප කතා කරන සොදුරු දිය ඇල්ල පිහිටා ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹේවෙල ප්‍රදේශයේය. මෙම දිය ඇල්ල උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල දක්වා ගමන් කරන ඔබට නිසැකවම දැකිය හැකි ඇල්ලකි. නානුඔය දුම්රිය ස්ථානයේ සිට අඹේවෙල දෙසට කිලෝමීටර 10ක් පමණ ගමන් කරනවිට ඈත වනාන්තරය තුළ පිහිටි එල්ජින් ඇල්ල දර්ශනය වේ.

මෙම දිය ඇල්ලට නුවරඑළිය නගරයේ සිට දුර කිලෝමීටර 18කි. ඇල්ල පිහිටා ඇත්තේ හෝර්ටන්තැන්න වන රක්ෂිතයේ මායිමක නිසා එහි අවට ඇත්තේ ඝන වනාන්තරයකි. එබැවින් දිය ඇල්ල අසලට ලගා වීම එතරම් පහසු නොවේ. මෙම ඇල්ල අසලම එකිනෙකට වෙනස් දිය ඇලි කීපයකි. ප්‍රධාන එල්ජින් ඇල්ල උසින් මීටර 24කි. වැසි කාලයට ඇල්ලේ හඩ තරමක් බිහිසුණු ස්වරූපයක් ඇති කරයි.

අඹේවෙල දුම්රිය ස්ථානයේ සිට රේල් පාරේ ඇවිද යමින් දුෂ්කර මාර්ගයකින් පසුව දිය ඇල්ල වෙත ගමන් කළ හැකි වුවත් දැන් ඔබට මේ ගමනට අවසර හිමි නොවේ. මෙය කිලෝමීටර 6ක් පමණ දිග අති දුෂ්කර ගමනක් බව සලකන්න. දිය ඇල්ලට ලගා විය හැකි තවත් මාර්ගයක් වන්නේ නුවරඑළියේ සිට තලවකැලේ මාර්ගයේ ලිදුල හන්දියෙන් හැරී ගමන් කොට එල්ජින් වතු යාය හරහා ගමන් කරන කැලෑ මාර්ගයයි. මෙහි දුර කිලෝමීටර 2-3ක් පමණ වේ.

එල්ජින් ඇල්ල නිර්මාණය කරනු ලබන්නේ හෝර්ටන්තැන්නෙන් ඇරඹී ගමන් කර මහවැලියට එකතු වන දඹගස්තලාව ඔයයි. එම ඔය විසින්ම නිර්මාණය කරන තවත් දිය ඇල්ලක් වන්නේ ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ලයි. ඇල්ල අවට පරිසරයේ දිවියන් ගෝනුන්, ඌරන් වැනි සතුන්ගේද වාස භූමියකි. තවද ඇල්ල අවට කලාපය මී ගස් වලින් වැසී ඇත. ඇල්ල පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර 1500ක් වැනි උසකින් වීමද විශේෂත්වයකි.

SL Traveler අප ඔබෙන් කරන ඉල්ලීම වන්නේ කිසි සේත්ම මෙම සොදුරු එල්ජින් දිය ඇල්ල අසලටම ගොස් නැරඹීමට චාරිකා සූදානම් කර නොගන්නා ලෙසයි. ඊට හේතුව ඔබ ගමන් කරන්නේ රක්ෂිතයක් තුළට නිසාය. උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල හෝ ඇල්ල නගරය වෙත සංචාරය කරන අතරම මගදී හමුවන මේ ඇල්ලේ සුන්දරත්වයත් විදගෙනම යන්න.

(Elgine Falls Image Credit: Ridhma Perera)

By ishara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *