Galboda Ella Waterfall

ගල්බොඩ ඇල්ල යනු ලංකාවේ නුවරඑලිය දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති තවද මනරම් දිය ඇල්ලකි. මෙය උසින් මීටර 30ක් හා පළලින් මීටර 6ක් පමණ වේ. මෙම දිය ඇල්ල සැලකෙන්නේ ලංකාවේ පළලින් වැඩිම දිය ඇල්ලක් ලෙසය. පිහිටා ඇත්තේ ගල්බොඩ නම්වූ කුඩා ග්‍රාමය ආශ්‍රිතවය.

මෙම දිය ඇල්ල වෙත ලගා වීමට ඇති පහසුම ක්‍රමය වන්නේ කොළඹ – බදුල්ල උඩරට දුම්රිය මාර්ගයේ ගොස් ගල්බොඩ දුම්රිය ස්ථානයේ බැස පයින් ගමන් කිරීමයි. ගල්බොඩ දුම්රිය ස්ථානය යනු නාවලපිටිය දුම්රිය ස්ථානය පසුකොට ගමන් කළ පසු හමුවන දෙවන දුම්රිය ස්ථානයයි. මෙම දිය ඇල්ල වෙත ඔබට වාහනයකින් ගමන් කිරීම කළ නොහැකි වේ. එකම විකල්පය වන්නේ දුම්රියේ ගමන් කර පයින් යාමයි.

ගල්බොඩ දුම්රිය ස්ථානයේ බැස නැවත නාවලපිටිය දෙසට දුම්රිය මාර්ගයේ කිලෝමීටර භාගයක් පමණ ගමන් කළ යුතු වන්නේ ඇල්ලට ලගාවන මග වැටී ඇත්තේ ඒ දිශාවෙන් බැවිනි. ඉන්පසු දකුණු දෙසින් හැරෙන්නට මගක් ඇති අතර එහි සිට නැවත දකුණට හැරෙන්නට තැනක් හමුවේ. එහි ගමන් කිරීමෙන් දිය ඇල්ලට ඇතුල්වන ටිකට් ලබාගන්නා ස්ථානය හමුවේ. එහිදී ඇතුලුවීමට ඔබට රුපියල් 50 ක් වන ටිකට් පතක් මිලදී ගැනීමට සිදුවේ. මෙම ටිකට් පතෙන් ලබාගන්නා මුදල් ඇල්ල අවට සංචාරකයින්ට ලබාදෙන පහසුකම් වලට වැයවේ.

මෙම දුම්රිය ස්ථානයේ සිට ඇල්ල අසලට යන මාර්ගය ඉතා දැකුම්කලු වන අතර එහිදී තේ වතු හා වැල් පාලමක්ද හමුවේ. දිය ඇල්ල නැරඹීමට සැකසූ වේදිකාවක්ද ඇති අතර දිය ඇල්ල මුදුනට යාමට අඩි පාරකද මේ වේදිකාව අසල ඇත.

දිය ඇල්ල අතිශයින්ම සුන්දර අතර ඇල්ලට පහලින් ඔබට සුරක්ෂිතව දිය නෑම කලහැකි තැන්ද කීපයකි. නමුත් දිය ඇල්ල පාමුල දිය නෑම භයානකය. ඔබ කෙසේ මේ ඇල්ල අසල සිටියත් මෙහි ජල ප්‍රමාණය පිළිබදව වඩා සැලකිල්ලක් දැක්විය යුතුය. ඊට හේතුව වන්නේ ගල්බොඩ ඇල්ල නිර්මාණය කරන ගල්බොඩ ඇල පෝෂණය වන වටවල ප්‍රදේශය නිරන්තර වර්ෂා සහිත ප්‍රදේශයක් වන නිසාවෙනි.

ගල්බොඩ ඇල මහවැලිය පෝෂණය කරන අතු ගංගාවක් වන අතර දිය ඇල්ලට ඉහලින් සැකසූ විදුලි බලාගාරයක්ද වේ. මෙම ඇල්ල පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර 920ක් පමණ උසකිනි. ඇල්ල අවට ප්‍රදේශයේ දුර්ලභ ඕකිඩ් වර්ග කීපයක්ම ඇත.

ගල්බොඩ ඇල්ල නරඹා නැවත මහනුවර දෙසට යාමට සවස 2.15ට හා සවස 4.55 ට දුම්රිය දෙකක්ම ඇත. මෙම ප්‍රදේශයේ සංචාරය කරන ඔබ ජෛව විවිධත්වයෙන් යුතු එම කලාපය විනාශ නොකර නැවත පැමිණීමට විනීත වන්න.

(Galboda Ella Image Credit: SL Travel Girl)

By ishara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *