හක්ගල උද්භිත උද්‍යානය එහෙමත් නැතිනම් හක්ගල මල්වත්ත යනු ලංකාවේ විශාලතම උද්භිත උද්‍යාන අතර දෙවන ස්ථානය හිමිකර ගන්නා උද්‍යානයයි. නුවරඑලිය දිස්ත්‍රික්කයේ හග්ගල ප්‍රදේශයේ පිහිටා ඇති මේ මල්වත්තට නුවරඑළිය නගරයේ සිට ඇති දුර කිලෝමීටර 15කි. එනම් නුවරඑළියේ සිට යන ඔබ බදුල්ල නුවරඑළිය මාර්ගයේ ගමන් කළ යුතුවේ. ලංකාවේ තවද මෙවැනිම උද්භිත උද්‍යාන 4ක් පිහිටා ඇත.

1861 වසරේ ඉදිවූ මේ හක්ගල මල්වත්ත අසලම හක්ගල දැඩි ස්වභාව රක්ෂිතයද පිහිටා ඇත. වසර පුරා විවෘත මෙහි නඩත්තු කිරීම සිදුවන්නේ ශ්‍රී ලංකා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගිනි. මේ අසලම ඇති හක්ගල කදු මුදුනේ උස මුහුදු මට්ටමේ සිට මීටර 2200කි. හෙක්ටයාර 28ක් උස මේ උද්‍යානයේ සිට බැලූවිට ඈත මඩොල්සිම හා නමුණුකුල කදුවැටි පැහැදිලිව දැකගත හැකිය.

මුහුදු මට්ටමේ සිට මීටර 1750ක් පමණ උසකින් පිහිටන නිසාම මෙම අවට කලාපයේ තරමක් සිසිල් දේශගුණයක් පවතී. වාර්ෂික උෂ්ණත්වය 16-30c අතර පවතින අතර වාර්ෂික වර්ෂාපතනය මිලිම්මිටර 2300ක් පමණ වේ. මෝසම් දෙක තුළින්ම ලැබෙන වර්ෂාපතනයෙන් මේ උද්‍යානය පෝෂණය වේ. දෙසැම්බර්-පෙබරවාරි කාලය මේ ප්‍රදේශයේ වැඩි ශීතලක් පවතින අතර අප්‍රේල් -අගෝස්තු කාලය තරමක් උණුසුම්ය. වාර්තාගතවී ඇති අවම උෂ්ණත්වය සෙල්සෙයිස් 3කි.

වගාවක් ලෙස 1861 වසරේදී සිංකෝනා වගාව මේ භූමියේ මුල්වරට වගා කර ඇත. එම වගාව මුලු රටේම අසාර්ථක වීමෙන් අනතුරුව මේ භූමියේ තේ වගාව ආරම්භ වී ඇත. අදටද පැරණි තේ ගස් කීපයක්ම මේ උද්‍යානයේ දැකගත හැකිය. 1884 වසරේදී සංවර්ධනය කර උද්භිත උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත. උද්‍යානය නැරඹීම සදහා වාර්ෂිකව 500,000 පමණ වූ සංචාරකයින් පිරිසක් පැමිණේ.

ශාක විශේෂ 10,000 කට අධික වූ ප්‍රමාණයක් හක්ගල උද්භිත උද්‍යානය තුළ අඩංගු වන අතර එහිදී ඔබට ඉතාමත් රමණීය හූමි අලංකරණ අංග රැසක්ම දැක ගැනීමට හැකිවේ. මල්,පදුරු, ගස් හා ගොඩනැගිලි ආදිය ඉතාමත් මනරම්ව නිර්මාණය කර ඇත්තේ සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සදහාමය. උද්‍යානයේ ඇති රෝසමල්ද, සංචාරකයින් දැඩිව ආකර්ෂණය කරගන්නා අතර ඒවා ඉතාම චමත්කාරජනය. එහිදී ඔබට රෝසමල් විශේෂ 200ක් පමණ දැකගැනීමට හැකිවේ. තවද මල් විශේෂ හා පලතුරු ශාකයන්ද රැසක්ම මෙහිදී දැකබලා ගත හැකිය.

හක්ගල උද්භිත උද්‍යානයේ සංචාරය කිරීම සදහා වඩාත් සුදුසුම කාලය ලෙස සලකන්නේ මාර්තු අවසානය සිට අප්‍රේල් අවසානය දක්වා කාලයයි. එම කාලයට නුවරඑළිය ප්‍රදේශයටද ඉහල සංචාරක ආකර්ෂණයක් උදාවන්නේ එම ප්‍රදේශවලට වසන්ත කාලය පැමිණෙන නිසාවෙනි. එසේනම් නුවරඑලිය අවට සංචාරක ස්ථාන සොයන ඔබ මේ සුන්දර හක්ගල උද්භිත උද්‍යානය නැරඹීමටද පැමිණෙන්න.

By ishara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *