ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටා ඇති හික්කඩුව ජාතික උද්‍යානය විශාලත්වය අතින් වර්ග හෙක්ටයාර 102ක් හොබවනු ලබයි. 1979 මැයි 18 වන දින සමුද්‍රීය අභය භූමියක් ලෙස නම් කළ මේ උද්‍යානයේ අරමුණ වූයේ කොරල්පර සංරක්ෂණය කිරීමයි. මෙහි ආරක්ෂාව තවද වැඩි කිරීමේ අරමුණ ඇතිව 1998 අගෝස්තු 14 වන දින ස්වභාවික රක්ෂිතයක් ලෙසද 2002 වසරේ ඔක්තෝබර් 8 වන දින ජාතික උද්‍යානයක් ලෙසද ප්‍රකාශයට පත් කරන ලදී.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව ලංකාවේ ඇති වනෝද්‍යාන අතරින් සාගර ජීවීන් සහිත පරිසර පද්ධතියක් ලෙස නැරඹිය හැකි ජාතික උද්‍යානයක් වේ නම් ඒ හික්කඩුව ජාතික උද්‍යානයයි.

හික්කඩුව ජාතික උද්‍යානය සතු වෙරළ කිලෝමීටර 4ක් දුරට විහිදෙන අතර මෙහිදී ඔබට කොරල්පර වර්ගීකරණයේ ගැටිපර වර්ගයේ කොරල්පරයක් දැක ගත හැකිය. මෙම කොරල්පර මුහුදු ජීවින්ගේ බෝවීම සදහා වැදගත් කාර්‍යයක් ඉටු කරයි. කොරල්පර වල ඇති වැදගත්කම වන්නේ ඒවා ස්වභාවිකව සිදුවන වෙරළ ඛාදනයට එරෙහිව ක්‍රියා කරන බැවිනි. මේ නිසා ඒවා ස්වභාවික දියකඩන ලෙස හැදින්වේ.

තෙත් කලාපයට අදාල මේ භූමිය අක්කර 254ක් දිගේ විහිදෙයි. නිරිත දිග මෝසම් සුලගින් මෙන්ම ඊශාන දිග මෝසම් සුලගින් වැසි ලබන මේ භූමියේ උෂ්ණත්වය 28C පමණ වේ. මුහුදු තෘණ වලින් ගහණ මෙම උද්‍යානයේ ඇල්ගී වර්ග, මුව අං, ගෝවා ආදී ශාක විශේෂයන්ද දැකිය හැකිවේ. ඇල්ගී විශේෂ අතුරෙන් Halimeda හා Caulerpa යන කරදිය ඇල්ගී විශේෂත් Ulva, Padina යන ඇල්ගී විශේෂත් මෙහිදී සුලභව හමුවේ.

හික්කඩුව ජාතික උද්‍යානය තුළ ගැටිපර ආකාර කොරල්පරය තුළ ගණ 31 කට අයිති කොරල් විශේෂ 60ක් පමණ සොයාගෙන ඇත. එසේම කුල 48ක මත්ස්‍ය විශේෂ 113ක් පමණද සොයාගෙන ඇත. මුහුදු පණුවන්, මුහුදු කැකිරි, ඉකිරි, ඉස්සන්,  පොකිරිස්සන්, කකුළුවා යන සතුන් මෙන්ම කැස්බෑ විශේෂ 3ක්, විසිතුරු මත්ස්‍ය විශේෂ 8ක් ද හික්කඩුව ජාතික උද්‍යානයේ වාසය කරයි. මත්ස්‍ය විශේෂ අතුරෙන් Chlorurus rhakoura හා Pomacentrus proteus යන මත්ස්‍යයින් අප රටට ආවේණිකය.

ශ්‍රී ලංකාවේ දකුණුදිග වෙරළ තීරයේ ඇති නොගැඹුරු අලංකාර කොරල්පර දෙස් විදෙස් සංචාරකයින් ආකර්ශනය කරගන්නා අතර ඒ අතර හික්කඩුව වෙරළ තීරයේ ගල්මල් උයන කැපී පෙනෙයි. කොරල්පර ආශ්‍රිතව පරාශ්‍රිත මෝරුන්ද දැකිය හැකිය. ස්වභාවික උපද්‍රව හා මිනිස් ක්‍රියාකාරකම් කොරල්පර විනාශ වීමට දැඩිව බලපැම් කරන අතර 1998 වසරේ ඇතිවූ එල්නිනෝ තත්වයක්ද කොරල්පර කෙරෙහි අහිතකරව බලපෑ ඇත.

සුනාමි වැනි තත්වයන් වලදී කොරල්පර දැඩි බාධකයක් ලෙස කටයුතු කරන බැවින් කොරල්පර ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම ඔබේත් මගේත් යුතුකමකි. කොරල්පර විනාශ කරන අයවලුන්ටත් දැඩි දඩුවම් පැමිණවීමටද අදාල ආයතන කටයුතු කළ නොගතහොත් ඔස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරය සේම අප රටේද කොරල්පර නම් වූ සම්පත විනාශ වී යනු ඇත.

(මෙම ලිපිය සැකසුනේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලයේ ජෛව විවිධත්වය හා බැඳුණු රක්ෂිත බිම් කෘතිය ඇසුරෙනි)

(Image Source: පියාසැරිය – Flying from Facebook )

By ishara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *