මීට කලින් ලිපියකදී අප චාරිකා කල පන්විල හරහා බඹරැල්ල ගමන ගැන ලිපියක් අපි ඔබ වෙත ගෙන ආවෙමු. එම ලිපියේ පරිදි අපගේ එක් නවාතැනක් වූයේ හුලුගග ඇල්ලයි. එම දිය ඇල්ල පිළිබදව සවිස්තර වාර්තාවක් මෙම ලිපියෙන් ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමු.
නක්ල්ස් කදුකරයේ ගොම්බානිය කදු ඇතුලු අනෙකුත් කදු රක්ෂිතවලින් පැමිනෙන ජලය එකතු කරගෙන වික්ටෝරියා ජලාශයේදී මහවැලි ගගට එකතුවන ගංගාවක් වන්නේ හුලු ගගයි. මෙම ගඟ හුලුගග නගරය හරහා ගමන් කිරීමේදී ප්‍රපාතයකට ඇද හැලෙන අතර එයින් අද අප කතා කරන හුලුගඟ නිර්මාණය වෙයි. හුලුගග නගරයට පැමිණෙන ඕනෑම කෙනෙකුට එහි පැරණි පාලම යටින් ඇද හැලෙන මෙම සුන්දර දිය ඇල්ල පැහැදිලිව දැකගත හැකිය.
වර්ෂා කාලයට මෙම දිය ඇල්ල විශාල ජල ප්‍රමාණයක් විශාල ජල කදක් සමග කඩා හැලෙන අතර ඒ කාලයට දිය ඇල්ල අසලට යාම ඉතා අපහසු වේ. නමුත් වර්ෂා රහිත කාලයට ජලය මදක් අඩු බැවින් ඇල්ල අසල පිහිට පර්වත වෙත ගමන් කිරීම කළ හැකිය. ජල බිදු වලින් ඇතිවන මීදුම ඇල්ල අසලට යන ඕනෑම කෙනෙක් නැහැවීමට සමත් වෙයි. මීටර 68ක් පමණ උස මේ දිය ඇල්ල ඈත සිට බලන විට ඉතාම මනරම්ය. එසේම මේ දිය ඇල්ල අනෙක් දිය ඇලි වලට වඩා තරමක් පළලින් වැඩිය.
දිය ඇල්ල පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේය. මේ දිය ඇල්ලට ඔබට පැමිණිය හැකි මාර්ග කීපයකි. ඔබ කොළඹ සිට පැමිණෙන්නේ නම් පළමුව මහනුවර නගරයට පැමිණිය යුතුවේ. එතැන් සිට මාර්ග කීපයකින් හුලු ගග නගරයට ගමන් කළ හැකිය. පළමු මාර්ගය වන්නේ වත්තේගම පන්විල හරහා හුලුගග නගරයට පැමිණීමයි. මෙහිදී මහනුවර සිට කිලෝමීටර 30ක පමණ දුරක් පසු කිරීමට ඔබට සිදුවේ. මෙහි අනෙක් මාර්ගය වන්නේ මහනුවර ඔරුතොට නාරම්පනාව කුකුල්ඔය අරත්තන හරහා හුලුගග වෙත ගමන් කිරීමයි. මින් පළමු මාර්ගය තරමක් විශාල වාහන ගමන් කිරීමට සුදුසුය. දෙවෙනි මාර්ගය තරමක් කුඩා පටු මෙන්ම බෑවුම් වැඩි මාර්ගයකි. මින් කුමන මාර්ගයක් පැමිණියද නක්ල්ස් කදුකරයේ අතිශය සුන්දර ස්ථාන මෙන්ම තේ වතුවල චමත්කාරය දැකගත හැකිය.
මේ දිය ඇල්ල අසලම රහස් ඇල්ල, තාලිය වැටුනු ඇල්ල, සාරි ඇල්ල, ජෝඩු ඇල්ල මෙන්ම ලෙබනන්වත්ත දිය ඇල්ලත් පිහිටා ඇති නිසා එක ගමනකින්ම තැන් කීපයක්ම ආවරණය කර ගැනීමට හැකිවනවා ඇත. එසේනම් දුම්බර කදුකරයේ මේ සුන්දර හුලුගග ඇල්ල නැරඹීමට ඔබත් පැමිණෙන්න.
(Huluganga Ella Image Credit: Chathurika Munasinghe )