ඉතින් ඔන්න කාලෙකට පස්සේ අපේ SL Traveler Team එක අලුත් සංචාරයක් නිමාකලා 2020 මාර්තු මුල්ම සතියේ. ඉතින් මේ ගමනට අපේ ටීම් එක තෝරාගත්තේ පන්විල හා බඹරැල්ල ප්‍රදේශයේ සුන්දර දියඇලි කීපයකි.
ඉතින් අපේ කණ්ඩායම මේ ගමන ආරම්භ කලේ දිගන කෙන්ගල්ල නගරයේ සිටයි. අපේ පලමු ගමනාන්තය වූයේ මැණික්හින්න නගරයයි. එතැන් සිට වලල දෙසට ගමන් කල අපි එතැන් සිට වාවින්න මාර්ගයට පිවිසියේ එය පන්විල දෙසට යා හැකි කෙටි මාර්ගයක් වූ බැවිනි. කිලෝමීටර 3කට වැඩි කදුකර මගක ගමන් කල අපි වාවින්නට පැමිණියේ අපේ පළමු ගමනාන්තය වන රහස් ඇල්ල සොයා යෑමේ අරමුණිනි. වාවින්න මංසංන්දියෙන් පහලට ඇති වත්තේගම මාර්ගයේ ගමන් කල අප එහි සිට කිලෝමීටරයක පමණ ගමනකින් පසු පාර අයිනේම ඇති රහස් ඇල්ලට ලගා වූයෙමු.
පාරේ සිට වුවද දිය ඇල්ලේ සුන්දරත්වය විද දැකිය හැකි වුවද අප දිය ඇල්ල ලගටම ගමන් කලේ එහි සුන්දරත්වය තවත් සුන්දරව දැකීමේ අරමුණිනි. නමුත් අපේ අවාසනාවකට එහි ජලය තිබුණේ ඉතාම මද ප්රමාණයකි. දිය ඇල්ල අසල ගැඹුරු තටාකයක් වන අතර එම තටාකයේ නෑමට ගොස් මිය ගිය අයවලුන් ගැනද අප අසා තිබුණු බැවින් අප ඒ අසලට හෝ ලගා නොවූයෙමු. එම ස්ථානයේදී අප දුටු අනෙක් දුක්ඛිත කාරණය නම් පොලිතීන් හා බියර් කෑන් වලින් එම ස්ථානය විනාශ කොට තිබෙන බව දැකීමයි. අපේ සංචාරකයින් කරන ඉතාම පහත් ක්‍රියාවක් වන්නේ සුන්දර ස්ථාන ගෙන යන පොලිතීන් හා ප්ලාස්ටික් දමා විනාශ කරලීමයි. මෙම ලිපිය කියවන අප ඔබෙන් ඉල්ලා සිටිනේ එසේ නොකරන ලෙසය. මන්ද මෙම ස්ථානවල සුන්දරතවය මතු පරපුරටත් උරුම විය යුතු නිසාය. රහස් ඇල්ලේ සුන්දරත්වය අපගේ කැමරා කාචවල සටහන් කරගත අප පාරෙන් යට පිහිටි රහස් ඇල්ලේ දෙවන කොටසද නැරඹුවෙමු.
මෙතැන් සිට අප ගමන් කලේ පන්විල දෙසටය. කිලෝමීටර 10ක් පමණ ගමන්කින් පසු අප පිවිසුනේ පන්විල නගරයටය. එතැන් සිට අප අපගේ රථය ධාවනය කරවූයේ බඹරැල්ල දෙසටය. තේ වතු පසු කරමින් අප ගමන් කලේ නක්ල්ස් කදුවැටියේ කදු මුදුන්වල සුන්දරත්වය අත්විදිමිනි. කිලෝමීටර 12ක් පමණ ගමන්කින් පසුව මඩොල්කැලේදී අප අපගේ රථය නවතාලූයේ රොටී කඩයක් අසලය. රොටී කමින් තේ කෝප්පයක රස බැලූ අප එතැන් සිට පහලට ඇති මාර්ගයට පිවිසුනේ හුලුගග නගරයට යෑමේ අදිටනිනි. එම කඩය අසලම වූ සංචාරක විස්තර අඩංගු පුවරුව අපගේ ගමන තවත් පහසු කරවූයේය.
මෙතැන් සිට කිලෝමීටර 5කට මදක් වැඩි දුරකින් පසුව අප පිවිසියේ හුලුගග නගරයටය. එහිදී අපට නගරය මැදින් ගලාබසින සුන්දර හුලුගග දිය ඇල්ල දැකිය හැකිවිය. නගරයේ සිට පහලට බසින පඩි පෙලේ ගමන් කල අප දිය ඇල්ල අසලටම ගමන් කලෙමු. පින්න විහිදෙමින් ඉතා විශාල ජලකදකින් සමන්විත හුලුගග ඇල්ල නිර්මාණය කරන්නේ නක්ල්ස් කදුවැටියේ ජලය එක් කරගනිමින් වික්ටෝරියා ජලාශය පෝෂණය කරන හුලු ගග විසිනි. මෙම දිය ඇල්ල උසින් මීටර 68ක් පමණ වන බව ආරංචි විය. දියඇල්ල අසල රැදෙමින් එහි ඡායාරූප ගතකල අපි මෙතැන් සිට ගමන් කලේ මේ අසලම ඇති තවත් සුන්දර දිය ඇල්ල්ක් වන තලියවැටුන ඇල්ල නැරඹීමටය.
හුලුගග හන්දියේ සිට අලකොලය වතුයාය දෙසට කදුකර දුෂ්කර මාරගයක තේ වතු මැදින් ගමන් කල අප පාරෙන් පිට අපගේ වාහනය නවතාලනු ලැබූයේ දිය ඇල්ල දෙසට ගමන් කරන අඩි පාර දැකීමෙන් අනතුරුවය. එම අඩි පාරේ කිලෝමීටරයක පමණ ගමනකින් පසුව සුන්දර තාලිය වැටුණු ඇල්ල දැකිය හැකි විය. එකී අඩි පාරේ ගමන් කලේ මධ්‍යහන කාලයේ නිසා අප දැඩි වෙහෙසට පත්වූයේය. මෙම දිය ඇල්ල අප එන විටත් සංචාරකයින් දිය නාමින් පසුවූ අතර ඇත්තෙන්ම එය දිය නෑමට සුදුසු තටාකයක් බව බැලූ බැල්මටම පසක් විය. මෙම දිය ඇල්ලද කොටස් දෙකකින් යුතුය. මෙම දිය ඇල්ල නැරබීමෙන් පසුව අප නැවත වරක් හුලුගග නගරයට පැමිණියේ බඹරැල්ල දෙසට ගමන් කිරීමේ අරමුණිනි.
එතැන් සිට කිලෝමීටර 5ක පමණ ගමනකින් අනතුරුව අප පිවිසියේ බඹරැල්ල තවලන්තැන්න හරහා ගෝමරය ප්රදේශයටයි. ගෝමරය හන්දියෙන් පහලට ගමන් කල අපට මෝරගහ ඔය හරහා දිවෙන පාලම හමුවිය. එතැන අපගේ රථය නැවතා අප ගමන් කලේ තවත් සුන්දර දිය ඇල්ලක් වන ජෝඩු ඇල්ල සොයාය. පාලම අසල සිට තරමක් ඉහලට මෝරගහ ඔය දිගේ ගමන් කිරීමේදී ජෝඩු ඇල්ල අපේ නෙත ගැටුනි. මෙම ඇල්ලට එම නම ලැබී ඇත්තේ එය කොටස් දෙකකට බෙදී කඩා හැලෙන නිසාවෙනි. එකී තටාකය ගැඹුරින් අඩු අතර දිය නෑමටද සුදුසුය. ඇල්ලේ උස මීටර 45ක් පමණ වේ. එම ස්ථානයේ මද වේලාවක් ගත කල අප නැවත වරක් ගෝමරය හන්දියට පැමිණියේ තවත් සුන්දර දිය ඇල්ලක් වන ලෙබනන් වත්ත දිය ඇල්ල කරා යෑමේ අටියෙනි. හන්දියෙන් ඉහලට ගමන් කල අපට නැවත වරක් මෝරගහ ඔය සම්බන්ධ කෙරෙන පාලමක් හමුවූ අතර පාලම පසුකර කෙලින්ම කන්ද මුදුනට තරමක් දුෂ්කර මගක ගමන් කිරීමෙන් ලෙබනන් වත්ත දිය ඇල්ලට ලගාවිය හැකි විය. මෙම දිය ඇල්ලද අනෙක් ඒවා සේම අතිශය සුන්දර එකක් වූ අතර උසින් එය මීටර 40ක් පමණ විය.
තරමක් වෙලා එහි රැදෙමින් දිය ඇල්ලේ සුන්දරත්වය විදි අප ඉන්පසු අපගේ ගමන නිමාකර නිවෙස් බලා පැමිනුනෙමු. එහිදී අප තවත් දිය ඇල්ලක් කරා යාමට සැලසුම් කර තිබුණත් කාල වේලා සීමිත නිසා එම ගමන නවතා ගැනීමට සිදුවුය. ගමන නිමකර ඒමෙදී අප හුලුගග නගරය හරහා අරත්තනට පැමිණ ඉන් පසු කුකුල්ඔය නාරම්පනාව හරහා ඔරුතොට පාලම අසලට පැමිණ නිවසට ලගා වූවෙමු.
අපගේ මෙම ගමනට අදාල Youtube වීඩියෝව මෙසේය;