නක්ල්ස් කදුවැටිය අවට ප්‍රදේශය වූ කලී අතිශය සුන්දර සංචාරක ස්ථාන රැසක්ම උරුම වූ කලාපයකි. මෙම නක්ල්ස් කදුවැටි කලාපයේ එක් පෙදෙසක පිහිටා ඇති ප්‍රසිද්ධ කදු මුදුනක් වන්නේ හුන්නස්ගිරි කන්දයි. මේ කදුවැටිය පාදක කරගෙන ඇතිවන දිය පහරවලින් නිර්මාණය වන ජලාශයක් වන්නේ මහඔය ජලාශයයි. මෙම ජලාශය විසින් නිර්මිත එක ගංගාවක් වන්නේ මාතලේ සුදු ගගයි. එහි අනෙක් නිර්මාණය වන්නේ අප අද කතා කරනු ලබන සුන්දර හුන්නස් ඇල්ලයි.

හුන්නස් ඇල්ල යනු ඇල්කඩුව වතු යාය මත කෘතීමව නිර්මාණය කළ දිය ඇල්ලකි. මෙම ඇල්ල මගින් මහනුවර හා මාතලේ යන දිස්ත්‍රික්ක වෙන්වීම සිදුවන බව අපට කරුණු සොයාගත හැකිවිය. උසින් මීටර 48ක්ද පළලින් මීටර 10ක්ද වන මේ ඇල්ල ලංකාවේ උසම දිය ඇලි ලැයිස්තුවේ 54 වන ස්ථානය හිමිකර ගනියි.

ඔබ මේ දිය ඇල්ල බැලීමට පැමිනෙන්නේ නම් පලමුව පැමිණිය යුත්තේ මහනුවර සිට කටුගස්තොට හරහා වත්තේගම නගරයටයි. එතැන් සිට ඇල්කඩුව මාර්ගයේ හුන්නස්ගිරිය වතු යාය පසුකර කිලෝමීටර් 3ක් පමණ ගිය විට දිය ඇල්ලට පිවිසෙන මාර්ගය සොයා ගත හැකිය. මෙම දිය ඇල්ල පිහිටා ඇත්තේ රාජ්‍ය වැවිලි සමාගමට අයත් ඇල්කඩුව වතුයාය තුළය. දිය ඇල්ලට යන මාර්ගයේ කුළුබඩු වලට වෙන්වූ වතු කීපයකි. ඒවා අතර ගම්මිරිස්, කරාබු නැටි හා කරදමුංගු වගා දැකිය හැකිවේ. මෙම ඇල්කඩුව වත්ත පිහිටා ඇත්තේ උසින් මීටර 1240ක් පමණ උසකිනි.

හුන්නස් ඇල්ල පිළිබඳව අප කළ වීඩියෝවත් බලන්න මෙතනින්:

මේ දිය ඇල්ලට ඉහලින් කෘතීම ජලාශයකි. එම ජලාශය හා ඒ අවට පිහිටි සුන්දර ප්‍රදේශය නිර්මාණය කරලීම සිදුකරනු ලැබූයේ ඉංග්‍රීසි ජාතික ඩර්ට් මිස්ට් නම් පුද්ගලයා විසිනි. මෙම ජලාශය හෙක්ටයාර 2ක් පමණ වේ. ජලාශය අවට කැලෑ ප්‍රදේශයක් වන අතර නොයෙකුත් ශාක හා සතුන්ගෙන් එය සමන්විත වේ.

වර්ෂා කාලයට දිය ඇල්ල අසලට යාමට නොහැකිය අනෙක් කාලයට දිය ඇල්ල අසලටම යා හැකිය. දිය ඇල්ලේ සුන්දරත්වය නිසාම දේශීය සංචාරකයින් වගේම විදේශීය සංචාරකයිනුත් රැසක් දිය ඇල්ල බැලීමට පැමිණේ. මේ අවට ප්‍රදේශයේ තේ වතු බහුල අතර Camping වලටත් මේ ප්‍රදේශය සුදුසු වේ. දිය ඇල්ල බැලීමට ඔබට ටිකට් පතක් ගැනීමට සිදුවේ. දිය ඇල්ල පහළ ප්‍රදේශයේ නැවතී සිට ආහාර ගැනීමට සැකසූ වෙළදසැල් වගේම සංචාරක හෝටල්ද වේ.

මෙම දිය ඇල්ල වටාද අනෙක් දිය ඇලි සේම ජනප්‍රවාද රැසක් ඇති බවද අපට ආරංචි විය. එසේනම් මහනුවර හා මාතලේ ප්‍රදේශයේ සංචාරය කරන ඔබ මේ සුන්දර දිය ඇල්ල බැලීමටද පැමිණීමට අමතක නොකරන්න.

By ishara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *