Kadiyanlena Ella

කඩියන්ලෙන ඇල්ල යනු නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති තවත් මනරම් හා දර්ශනීය දිය ඇල්ලකි. මෙය නාවලපිටිය නගරයේ සිට කොත්මලේ දෙසට ඇති මාර්ගයේ කිලෝමීටර 10ක් පමණ ගිය පසු හමුවේ. මෙය කැටබුලා ඇල්ල ලෙසද හැදින්වෙයි.

කඩියන්ලෙන ඇල්ල කොටස් තුනකින් යුතු වන අතර එය මැදින් නාවලපිටිය – කොත්මලේ මාර්ගය වැටී ඇත. ඇල්ල හරහා ඉදිකළ ආරුක්කු තුනේ පාලම ඉදිකර ඇත්තේ බ්‍රිතාන්‍යය සමයේය. මෙම පාලම මතට දිය ඇල්ලේ කොටස් දෙකක් පමණක් දර්ශනය වේ. තුන්වන කොටස ඇත්තේ පාලමට පහලිනි. දිය ඇල්ල සම්පූර්ණයෙන්ම බලා ගැනීමට නම් පාලමට මද දුරකින් පිහිටි අඩි පාරේ පහළට ගමන් කළ යුතුවේ.

මෙම දිය ඇල්ල පිහිටි ගමේ නමද කඩියන්ලෙනයි. මේ නිසා දිය ඇල්ලට ඒ නම ලැබී ඇත. තවද මේ අසල පිහිටි තේ වත්තේ නම නිසා එයට කැටබුලා ඇල්ල යැයි ද කියනු ලැබේ. මෙය පෝෂණය වන්නේ ලිදුල හා කොටගල ප්‍රදේශ වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලින් නිර්මාණය වන කඩියන්ලෙන ඔයෙනි. මෙම ඔය නාවලපිටියට ආසන්නයේදී හැටන් ඔයට එකතු වේ.

වර්ෂා කාලයට දිය ඇල්ලේ දර්ශනය නෙත් සිත් පිනවන අතර එකී කාලයට මෙහි යා හැකිනම් එම චමත්කාරය ඔබටද අත්විදිය හැකිවේ. උසින් මීටර 24ක් පමණ වන මේ කඩියන්ලෙන ඇල්ල අවට දිය නෑමට තැන් කීපයක්ම වේ. නමුත් දිය ඇල්ලේ තුන්වන කොටස කඩා හැලෙන තැන පිහිටි තටාකයේ දිය නෑමෙන් වලකින්න. මේ අවට කුඩා ජල විදුලි බලාගාර දෙකක්ද පිහිටා ඇත.

එසේනම් නුවරඑළිය අවට සංචාරක ස්ථාන සොයන ඔබ මේ දිය ඇල්ල නැරඹීමටද පැමිණෙන්න. කිසිමවිටෙක ඇල්ල අවට ප්‍රදේශය පොලිතීන් ප්ලාස්ටික් හා කැලි කසල දමා විනාශ නොකිරීමටද වග බලා ගන්න.

By ishara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *