අද අප කතා කරන ලෙබනන් වත්ත දිය ඇල්ල පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ බඹරැල්ල ප්‍රදේශයේ ගෝමරය ගම්මානය ආශ්‍රිතව පිහිටි තේ වතු යායක් වන ලෙබනන් වත්ත තුළය. උස මීටර 40ක් වන මේ සුන්දර දිය ඇල්ල නිර්මාණය කරනු ලබන්නේ නක්ල්ස් කදුකරයෙන් ඇදී එන මොරගහ ඔය මගිනි. මෙම මොරගහ ඔය මහවැලි ගගේ ප්‍රධාන අතුගංගාවක් වන හුලුගගට සම්බන්ධ වේ.

ලෙබනන් වත්ත දිය ඇල්ල සොයා ගමන් කරන ඔබ පළමුව පැමිණිය යුත්තේ මහනුවර නගරයටයි. එතැන් සිට ඔබ දෙවනුව වත්තේගම නගරයට ගමන් කළ යුතුය. වත්තේගම සිට පන්විල හරහා බඹරැල්ලට ගමන් කරන බස් රථ ඇති අතර එහි මුලු දුර කිලෝමීටර 28ක් පමණ වේ. මෙම සුන්දර මාර්ගයේ බඹරැල්ලට ගමන් කරන අතරතුර ඔබ තවත් සුන්දර දිය ඇලි දෙකක් පසු කරනු ලබයි. එනම් රහස් ඇල්ල හා හුලුගග ඇල්ලයි. තවද බඹරැල්ල වෙත පැමිණිය හැකි මාර්ග කීපයකි. තවත් අතුරු මාර්ගයක් වන්නේ මහනුවර සිට දිගන හරහා ඔරුතොට පාලම ලගට පැමිණ එහි සිට නාරම්පනාව, කුකුල්ඔය, අරත්තන හරහා බඹරැල්ල වෙත ගමන් කිරීමයි. තවද තෙල්දෙණිය, රංගල, තංගප්පූව හරහාද බඹරැල්ල වෙත ගමන් කිරීමට මාර්ග ඇත.

ගෝමරය හන්දියෙන් ඉහළට ගමන් කරන මග දිවෙන්නේ ලෙබනන් වත්ත වෙතයි. එම ඉහලට යන මාර්ගයේ ටික දුරක් ගිය විට පාලමක් ඇති අතර පාලමෙන් එතෙර වන විටම පාර නැවත දෙකට බෙදෙයි. ඉන් දකුණට නොහැරී කෙලින්ම ගමන් කළ යුතුය. එම පාලම අසල සිට කිලෝමීටර 3ක් පමණ ගමනකින් ඔබ ලෙබනන් වත්ත දිය ඇල්ලට ගමන් කළ හැකිවේ. ඔබ කුමන වාහනයක ගියද එක් ස්ථානයකින් එහාට ඔබට කිසිදු වාහනයක් රැගෙන යාමට හැකිවන්නේ නැත. එතැන් සිට මිටර 500ක් පමණ පටු අඩි මාර්ගයක් ඔස්සේ ගමන් කළ විට සුන්දර ලෙබනන් වත්ත දිය ඇල්ල අසලට ඔබ ප්‍රවිෂ්ඨ වේ.

ඇල්ල අසලම විශාල ගල් තලාවකි. මේ විශාල ගල් තලාව ඔබට දිය ඇල්ල නැරඹීමට වේදිකාවකි. එහි සිට ගිමන් හරිමින් ඇල්ලේ සුන්දරත්වය නැරඹිය හැකිය. ඇල්ල අවට ඇත්තේ වනාන්තර හා මානා කැලෑවකි. තරමක් වර්ෂා කාලයකින් පසුව ඔබ මේ ඇල්ල වෙත ගමන් කලහොත් එහි සුන්දරත්වය මනාව අත්විදිය හැකිවේ. දිය ඇල්ල අසල තිබෙන පටු තටාකය දිය නෑමට කිසිසේතම සුදුසු නොවේ.

ලෙබනන් වත්ත යනු තේ වගා කරන ප්‍රදේශයක් නිසා මෙහි බහුලවම ඇත්තේ දෙමළ ජනතාවයි. ඒ ජනතාව නිරන්තර ඔබ කෙරෙහි අවධානයෙන් පසුවන අතර ඔබට උදව් කිරීමටද නොපැකිලිව උදව් වන නිහතමානී මිනිසුන් කොටසකි. ඔබගේ නොමනා ක්‍රියා කෙරෙහිද ඔවුන් දැඩිව අවධානයෙන් පසුවන බැවින් ඇල්ලේ සුන්දරත්වය පමණක් විදගෙන පැමිණෙන්න. කිසිවිටෙක පොලිතීන් හා ප්ලාස්ටික් ගෙනවිත දමා මේ නක්ල්ස් වන අශ්‍රිත ප්‍රදේශය විනාශ නොකරන ලෙසද අප ඔබෙන් ඉල්ලා සිටිමු.

ලෙබනන් වත්ත අසලින් නක්ල්ස් මහා ශිඛරයක් වන තුන්හිස්ගල කදු මුදුන කරා ඔබට ගමන් කළ හැකිය. අප කලින් ලිපියක කතා කර පරිදි එය තරමක් දුෂ්කර ගමනකි. ඔබ කෙදිනක හෝ තුන්හිස්ගල ගමන් කරන්නේ නම් එම ගමනේදීම මේ සොදුරු දිය ඇල්ල වෙතද ඔබට පැමිණීමට හැකිය. තවද මේ ගෝමරය ප්‍රදේශයේම තිබෙන තවත් දිය ඇලි දෙකක් ලෙස සාරි ඇල්ල හා ජෝඩු ඇල්ල හැදින්විය හැකිය.

(Cover Image Credit: Kavishka D. Ariyarathne )

By ishara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *