අද අප මෙම ලිපිය තුළින් කතා කරනුයේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති තවත් එතරම් ප්‍රකට නොවූ Hiking Location එකක් පිළිබඳවයි. එනම් මැදමහනුවර කන්ද එහෙමත් නැතිනම් රාජගල කන්ද පිළිබඳවයි.
මැදමහනුවර කන්ද පිහිටා ඇත්තේ මහනුවර සිට කිලෝමීටර් 40ක් පමණ දුරකින් පිහිටි හුන්නස්ගිරිය නගරය ආසන්නයේය. ඔබ මහනුවර සිට මහියංගණය වෙත දිවෙන A26 මාර්ගයේ හුන්නස්ගිරිය නගරය හරහා ගමන් කරන්නේ නම් එයට පිටුපසින් යෝධයෙකු ලෙස නැගී තිබෙන මේ කදු මුදුන නිසැකවම දැක ඇති. කන්දේ උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට උසින් මීටර 1339ක් හෙවත් අඩි 4372කි.
කන්ද වෙත දිවෙන අඩි පාර වැටී ඇත්තේ හුන්නස්ගිරිය සිට මහනුවර දෙසට කිලෝමීටරයක් පමණ යනවිටය. එතැන් සිට කොන්ක්‍රීට් මාර්ගය දිගේ ගමන් කර හමුවන පයිනස් වනාන්තරය මුලින්ම තරණය කළ යුතුවේ. එය තරණය කල විට කන්ද දෙසට හමුවන අඩි පාර දැකගත හැකිය. එතැන් සිට කන්ද මුදුන දක්වා ගමන් කිරීම තරමක් අසීරු එකකි. සමහර තැන් තරණය කළ යුත්තේ ගස්වල අතුවල එල්ලිගෙනය. තවත් තැනක අධික බෑවුමකි. කෙසේවූවද පැය දෙකක පමණ ගමනකින් පසුව කන්දේ ඉහලම ස්ථානයට ගමන් කළ හැකිය. එහි මුදුනේ කිසිම View Point එකක් හෙවත් නැරඹුම් ස්ථානයක් නොමැත. යන මග අතරමගදී සමහර තැන්වලින් අවට අසිරිය දැකිය හැකිවේ.
හුන්නස්ගිරිය ලෙසද හදුන්වන මෙම මැදමහනුවර කන්ද මුදුනේ පැරණි රජ මාලිගයකි. එය මහනුවර අදින් වසර 500කට පමණ පෙර රජකම් කළ සෙනරත් රජතුමා විසින් කරවූවක් ලෙස සැලකේ. ඔහු විසින් මහනුවර නගරයට ආක්‍රමණ එල්ල වන විට සැගව සිටීමට සුදුසු ස්ථානයක් ලෙස මෙම මැදමහනුවර කන්ද සලකා ඇත. පසු කාලීනව රජවරුන් කීප දෙනෙක්ම මෙම ස්ථානය ආක්‍රමණ වලින් ආරක්ෂාව සදහා පැන යා හැකි තැනක් භාවිතා කර ඇත. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා අවසන් වරට ඉංග්‍රීසින්න් උඩරට ආක්‍රමණය කරන විට මෙම මැදමහනුවර කන්දට සැගවීමට පැමිණ ඇත. එහිදී මේ කන්දට නුදුරු බෝමුරේදී රජතුමා ඉංග්‍රීසින්ට යටත් විය. එකල බෝමුරේ සිට මේ කන්දට උමගක් වූ බව කියැවෙන මුත් අදවනවිට එම උමගේ කිසිම සාක්ෂියක් හෝ නොමැත.
කන්ද උඩට යන සෑම කෙනෙක්ටම මේ පැරණි රජ මාලිගයේ නටඹුන් අදද දැකිය හැකි අතර ඒවා අදවන්විට විනාශව ගොස් ඇත. තිබෙන පොකුණද ජරා ජීර්ණ වී ඇති අතර කන්ද මුදුනේ වෙනත් කිසිම තැනෙක ජලය ලබාගත හැකි තැන් නොමැත. එබැවින් ඔබ මෙම කන්ද තරණය කරන්නේ නම් හැකිතරම් ජලය රැගෙන යාම උචිත වේ. කන්ද මුදුනට යාම ඉතා වෙහෙසකර වන අතර ජලය ඉතා අත්‍යවශ්‍ය දෙයක් වනවා නොඅනුමානය.
කන්ද මුදුනේදී හුන්නස්ගිරිය නගරය එහි ගස් අතරින් පෙනෙන අතර අධික ශාක ඝනත්වය නිසා අවට හරියාකාරව නොපෙනේ. හැමවිටම තිබෙන අඩි පාරේ පමණක් ගමන් කරන්න. වෙනත් අලුත් මාර්ග සෙවීම ඔබව අතරමං කිරීමටද ඉඩ ඇත. තවද මෙහි සමහර ස්ථාන නිධන් හොරුන් විසින් විනාශ කර ඇති ආකාරයද දැකිය හැකිය. වැසි කාලයට මේ කන්ද තරණය කරන්නට බලාපොරොත්තු වන්නේ නම් කූඩැල්ලන් සදහා ද විකල්ප රැගෙන යාම ඉතා උචිතය. Camping කිරීමට මෙහි මුදුනේ කිසිම තැනක් නොමැති බවද කරුණාවෙන් සලකන්න. මහනුවර සිට ගමන් කරන ඔබටනම් මෙය එක දිනයක චාරිකාවක් වනවා නොඅනුමානය. එසේම කන්ද පහළ රජගල රෙසිඩන්ට් හි ඈත සිට පැමිනෙන සංචාරකයින් සදහා නවාතැන් සදහා වෙන්කර ගත හැකිය.
ඔබ මෙම මැදමහනුවර කන්දට යන්නෙ නම් ඔබ රැගෙන යන පොලිතීන් ප්ලාස්ටික දමා මෙම ඓතිහාසික ස්ථානය විනාශ කිරීමෙන් වලකින්න. මන්ද එහි තිබෙන ඓතිහාසික වටිනාකම මතු පරපුරටත් උරුම කල යුතු නිසාවෙනි. තවද එහි නටඹුන් වලටද හානි නොකරීමට වග බලාගන්න. අනෙක් කදුවලට වඩා මෙම කන්ද තරණය ඔබට අමුතුම අත්දැකීමක් වනවා නොඅනුමාන වනවා අපට විශ්වාසය.
(Rajagala Kanda Image by: Lahiru Rashen Warapitiya )