ලංකාවේ Hiking වලට හොදම කදු සොයන ඔබට ඒ සදහා සුදුසු තවත් කන්දක් ගැන තමයි අපි ඔබට ගෙන එන්නෙ. ප්‍රදේශවාසීන්ට අනුව මේ කන්දේ නම ‘රජගල’. මේ කන්ද පිහිටලා තියෙන්නෙ මහනුවර මහියංගන මාර්ගයේ මැද මහනුවර හා හුන්නස්ගිරිය යන නගර දෙක අතර ප්‍රදේශයේය. එනම් මහනුවර සිට කි.මි 35ක් වැනි දුරකිනි. තවද මේ කන්ද මැදමහනුවර කන්ද ලෙසද හැදින්වේ.

මේ කන්දේ ඓතිහාසික පසුබිම සොයා බැලුවොත් එය සියවස් කිහිපයක් ආපස්සට ගෙන යයි. එකල උඩරට රජවරුන් මහනුවරට ආක්‍රමණ එල්ල වනවිට නොයෙකුත් තැන්වල සැග වුණහ. ඒ සදහා භාවිතා කළ එක් ස්ථානයක් වන්නෙ මෙම රජගල කන්දයි. මෙම කන්දේ සිට මැදමහනුවරට උමගක් තිබූ බව පැවසේ. නමුත් අදවන විට එම උමග කිදා බැස ඇති බව කියැවේ.

මෙම කන්ද තරණය සදහා මහනුවර-මහියංගන ප්‍රධාන මාර්ගයේ ගලේකැලේ සිට කි.මි 2ක් පමණ යා යුතු වේ. ඔබ මෙකී කන්ද තරණයට පැමිනෙන්නේ නම් ප්‍රදේශවාසීන් ගෙන් මාර්ගය අසාගෙන යාමට අමතක නොකරන්න. මන්ද මෙකී කන්ද තරණය ඉතාම කටුක එකකි. මෙය තරණය කළ අපද ගමන් කලේ වැටී තිබූ අඩිපාරවල් ඔස්සේ නව මාර්ග සකසා ගනිමිනි. සමහර තැන්වල වරින් වර මතුවන අඩි පාරේ කොටස්ද හමුවේ.

ප්‍රධාන මාර්ගයේ සිට පැය එක හමාරක් වැනි කාලයක් ඇතුලත ඔබට මෙම කන්ද මුදුනට ලගාවිය හැකිය. ගස්කොලන් වලින් වැසී ඇති කැළයක් නිසා සමහර ස්ථානවලින් ගමන් කිරීම ඉතා අපහසු වේ. සමහර ස්ථාන තරණය කර යුත්තේ ගස්වල අතු හා වැල්වල ඉල්ලි ගෙනය. මේ නිසාම මෙය ආරක්ෂක ස්ථානයක් ලෙස එකල භාවිතා කරන්නට ඇතැයි අපට සිතිය හැකිය. තවද වැසි කාලයට මෙය කූඩැල්ලන්ගේ රාජධානියකි. කන්ද මුදුනේ තැන් දෙකකින් පමණ අවට පරිසරය පෙනෙන View Points ඇති අතර චමත්කාර වටපිටාවක් එහිදී ඔබට දැකගත හැකිය.

කන්ද මුදුනේ ඇත්තේ ගරාවැටුනු පැරණි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ මාලිගාවයි. එය කාමර කිහිපයකින් යුක්ත වූ බව සිතිය හැකි නටඹුන් ඇත. මෙම මාලිගය එකල බොහෝ රජවරු සිය ආරක්ෂක මධ්‍යස්ථානය ලෙස භාවිතා කර ඇති අතර එය සෙනරත් රජු විසින් මුල් වරට ඉදිකල බවද පැවසේ. අසල උල්පතක් ඇති අතර එය එකළ මාලිගයට අවශ්‍ය ජලය ලබාගන්නට භාවිතා කරන්නට ඇත. අද වනවිට එහි ජලය දූෂණය වී ඇත. කන්ද මුදුනේ ජලය නොමැති බැවින් ඔබ මෙම කන්ද තරණය කරන්නේ නම් ජලය අනිවාරයයෙන් රැගෙන යන්න. එසේම කූඩැල්ලන්ගෙන් බේරීමට විකල්පයක් ද රැගෙන යන්න.

එදා 1815 දී ඉංග්‍රීසී හමුදාව උඩරට ආක්‍රමණය කරනවිට ශ්‍රී වික්‍රම රජු මෙම රජගල කන්දේ සුපුරුදු පරිදි සැගව සිට ඇති බව කියැවේ. එකල උඩරට ජනතාව රජු සමග අප්‍රසාදව සිටි නිසාම මේ ස්ථානය දන්නා සිංහලයෝ රජු අල්ලා මෙම කදුවැටියේ පහල පිහිටි බෝමුරේ ගමේදී ඉංග්‍රීසීන්ට භාර දී ඇතිබව කියැවේ. අදද එම රජු අල්ලාගත් ස්ථානය මැදමහනුවර නගරයට ආසන්නයේ හදුනාගත හැකිය.

කන්ද මුදුනේ ඔබට ඇත්තටම දැකිය හැකිවන්නේ පැරණි රජ මාලිගයයි. මෙම ගරාවැටුනු මාලිගය ප්‍රතිසංස්කරණය කර එහි ඓතිහාසික වටිනාකම රැකගත හැකිනම් එය මතු පරම්පරාවට වටිනා බව අපගේ හැගීමයි. වසර 200 කට වඩා පැරණි මෙකී නටබුන් රැකගැනීම බලධාරීන්ගේ මෙන්ම අප සැමගේද වගකීමකි. මෙහි සමහර ස්ථාන දැනටම නිදන් හොරුන්ගේ ග්‍රහණය නිසා විනාශ වී ඇත.

By ishara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *