Naranpanawa Village

SL Traveler අප අපගේ පළමු සංචාරය සදහා තෝරාගනු ලැබුවේ මහනුවර දිස්ත්‍රික්කයේ වූ සුන්දර මෙන්ම ඵෙතිහාසික ගමක් වන නාරම්පනාවයි. මෙම ගම්මානය සදහා ප්‍රවිෂ්ඨ වීමට ප්‍රධාන මාර්ග දෙකක් ඇත. ඉන් එක් ප්‍රධාන මාර්ගයක් වන්නේ මහනුවර සිට මැනික්හින්න නගරයට පැමිණ නාරම්පාවට ප්‍රවිෂ්ඨ වීමයි. එහිදී ඔබට මැණික්හින්න නගරයේ සිට කදු බැවුම් මාර්ගයක කිලොමීටර් 8ක් පමණ ගමන් කිරිමට සිදුවේ. මින් දෙවැනි මාර්ගය වන්නේ මහනුවර සිට මහියංගණය මාර්ගයේ දිගන හරහා ඔරුතොටට පැමිණ එහි සිට නාරම්පනාවට ගමන් කිරිමයි. මෙයින් අප තෝරාගනු ලැබුවේ දෙවැනි මාර්ගයයි. ඔරුතොට පාලම අසලින් ඉහලට දිවෙන මාර්ගයේ කිලොමීටර් 3ක් පමණ ගියවිට නාරම්පනාව ගම්මානයට ප්‍රවිෂ්ඨ වීමට අපට හැකිවිය.

අපගේ සංචාරයේ සොදුරු දසුන් එක්කර සෑදූ වීඩීයෝවත් බලන්න පහලින්:

කෙත්වතු වලින් හා සුන්දර කදුවටිවලින් වටවු මෙම සුන්දර ගම්මානයේ අසිරිය දෙගුණ කෙරෙන්නේ ගම හරහා ගලන හුලු ගඟ නිසාය. නක්ල්ස් කදුවටියෙන් ආරම්භ වන හුලු ගඟ කිලොමීටර් 20 වැඩි දුරක් ගමන් කර ඔරුතොට පාලම හරහා ගොස් වික්ටොරියා ජලාශයට එකතු වේ. මහවැලි ගගේ ප්‍රධාන අතුගංගාවක් ලෙසද හුලු ගග වැදගත් වේ. ගම්මානයේ අසිරිය අපගේ කැමරා කාචවල සටහන් කර ගැනිමෙන් අනතුරුව අප ගමන් කලේ හුලු ගගේ දිය නෑම සදහාය. මේ සදහා සුදුසු ස්ථාන රැසක්ම නාරම්පාව ගමේ ඇත. හුලු ගගේ දියනැමට වඩාත් ආරක්ෂිත තැන් රැසක්ම තිබෙන නිසාවෙන්ම විශාල වශයෙන් දේශිය සංචාරකයන් මේ ගමට පැමිණෙනවා අප දුටුවෙමු. පැයක පමණ කාලයක් දිය නැම කල අප මින් පසුව ගමන් කලේ කදුකර මාර්ගයක් හරහා පුටුහපුව දෙසටය. එම මාර්ගයේ කිලෝමීටරයක් පමණ ගමන් කල විට අපට හමුවුයේ ගිඩ්ඩව පුරාණ විහාරස්ථානයයි. එම ඵෙතිහාසික විහාරස්ථානය වැදපුදා ගත් අප ඒ අවට සුන්දර පරිසරය අපේ කැමරා කාචවල සටහන් කර ගැනිමටද අමතක නොකලෙමු. මින් පසුව අප නැවත නාරම්පනාව ගම්මානයට පිවිසුනු අතර හුලු ගග හරස්කරන පාලම හා එ අසල ඇති කඩයේ ආහාරවල රස බැලීමටද අමතක නොකලෙමු. මින් පසුව අයේ ගමනාන්තය වුයේ කුකුල් ඔය ගම්මානයයි.

ඉතා කඳුකර මාර්ගයක ගමන් කල අප කුකුල්ඔය දක්වා ගමන් කලේ බොහෝ දෙනෙක් අතර අප්‍රසිද්ධ දිය ඇල්ලක් සොයාය. නාරම්පනාව සිට කිලොමීටර් 5ක් පමණ ගියවිට GOOGLE MAP හරහා අප හදුනාගත්  සිංහලේ ඇල්ල වෙත ගමන් කරන කරන කැලෑ මාර්ගය සොයා ගැනිමට හැකිය. වංගුවක් අසල සිට දිවෙන මේ මාර්ගයට පිවිසෙන තැන අපගේ වාහනය නැවතු අප සිංහලේ ඇල්ල සොයා වනය වෙත පිවිසුවෙමු. කිලොමීටරයක් පමණ වනය හරහා ගමන් කල අපට සිංහලේ ඇල්ල නමින් ගම් වැසියන් හදුන්වන ඉතා සුන්දර දියඇල්ල සොයගත හැකිවිය. මෙම දියඇල්ල නිර්මණය වන්නේ හුලුගගේ අතු ගංගවකිනි. මීටර 10කට වඩා මදක් උස මේ දියඇල්ල පිනිබිදු විසිරෙමින් ඉතා සුන්දර දර්ශනයක් මවා පායි. දියඇල්ල අසල පැය බාගයක් පමණ කාලයක් රැදුනු අප එහි සුන්දරත්වය අපගේ කැමරා කාචවල සටහන් කරගැනිමට අමතක නොකලෙමු. 

කාලය මද වූ බැවින් අපට කුකුල්ඔය ගමේ සම්පුර්ණයෙන්ම සැරිසැරිමට නොහැකි විය. නැවත නාරම්පනවට පැමිණුනු අප එහි සිට මනික්හින්නට පැමිණ අපගේ සංචාරය අවසන් කලෙමු. මෙහිදී අප ඔබට පවසන වැදගත්ම කාරණය වන්නේ පොලිතින් ප්ලාස්ටික් රැගෙන ගොස් සුන්දර නාරම්පනාව ගම්මානය වගේම නක්ල්ස් කදුකරයේ ඇති සිංහලේ ඇල්ල අපවිත්‍ර නොකරන ලෙසය. තවමත් අපවිත්‍ර වී නැති මෙම සුන්දර පරිසරය රැක ගැනිම සංචාරක අපගේ වගකීමක් වන්නේ මතු පරපුරටත් ගම්මානයේ සුන්දරත්වය ඉතිරි කල යුතු නිසාය. ඒ වගේම නාරම්පනාවට පැමිණෙන ඔබ දිය නෑමේදි ඊට වෙන්කර ඇති අනෙක් අය දිය නාන තැන්වලින් පමණක්ම දිය නැම සිදු කරන්න මන්ද අනෙක් තැන්වලින් දිය නැමට ගොස් ඔබට අනතුරක් වුවහොත් බේරා ගැනිමට කවුරුත් නොමැති නිසාය.

එසේනම් මෙම සුන්දර නාරම්පනාව ගම්මානයේ හා කුකුල්ඔය සිංහලේ ඇල්ල නැරඹීමට ඔබත් පැමිණෙන්න. මේ දිගන නගරය අවට ප්‍රදේශයේ තවත් සංචාරක ස්ථාන රැසකි. ඒ පිලිබද ඉදිරි ලිපිවලින් ඔබව දැනුවත් කිරිමට අප සුදානම්. 

By ishara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *