නවනගල කන්ද යනු මහනුවර දිස්ත්‍රික්කයේ හුන්නස්ගිරිය නගරයට ආසන්නව පිහිටා ඇති අමුතුම හැඩයකින් යුක්ත කදු මුදුනකි. නක්ල්ස් කදු වැටියේ දකුණුදිග බෑවුම්වල පිහිටි කදුමුදුනක් වන මෙය A26 මාරගයේ හුන්නස්ගිරිය නගරයට යන ඕනෑම කෙනෙකුට දැකගත හැකි කදු මුදුනකි. ඔබ කෙදිනක හෝ ඓතිහාසික මීමුරේ ගම්මානයට සංචාරයක් සදහා ගොස් ඇත්නම් මේ කදු මුදුන අසලින්ම ගමන් කර ඇති. මන්ද හුන්නස්ගිරියේ සිට මීමුරේට දිවෙන මාර්ගයේ කෙටි දුරක් යනවිට හමුවන නවනගල ගමට ඉතා ආසන්නයෙන් මේ කදු මුදුන පිහිටා ඇති නිසාවෙනි.
මූලාශ්‍ර වලට අනුව නවනගල කන්දේ උස මුහුදු ම්ට්ටමේ සිට මීටර 1488ක් ලෙස සටහන් වන අතර මෙය අප කලින් ලිපියක සදහන් කල මැදමහනුවර කන්දටද ඉතා ආසන්නව පිහිටා ඇත. නවනගල කන්ද ඉතාමත් වැදගත් Surveying Point එකක් ලෙස 1910 දී මෙම කන්ද තරණය කළ Erskine Engraving පෙන්වා දී ඇත. එසේම Camping සදහාද මේ කදු මුදුන උචිත බව අප මෙම ලිපිය සදහා මූලාශ්‍ර කරගත් lakdasun.org විසින් පෙන්වා දෙයි.
මෙම කන්ද තරණය කරන්නේ නම් ඔබ මුලින්ම හුන්නස්ගිරිය නගරයට පැමිණිය යුතුවන අතර එතැන් සිට ලූල්වත්ත මීමුරේ මාරගයේ කිලෝමීටරයක් පමණ ගොස් එතැන් සිට ඇති පයිනස් කැලය තුලින් ගමන ආරම්භ කළ යුතුවේ. තවද මෙහි ගමන් කිරීමට නිශ්චිත මාරගයක් නොමැත. එසේම නවනගල ගමේ හයාරේ පාර්ක් වතුයායේ ඉහළ හරහාද මේ වෙත ගමන් කළ හැකිය. මෙහිදී ඔබට ඝන කැළය මැදින් ගමන් කිරීමට සිදුවේ. කදු තරණයට පැය 5ක් පමණ ගත වන අතර කදුවැටියේ ඉහළ කිසිම තැනක ජල මූලාශ්‍ර නැති බැවින් හැකි තරම් ජලය රැගෙන යාම උචිත වේ. සමහර තැන්වල උණ පතුරු ඉතාමත් ආසන්නයෙන් වැවී ඇති නිසා ගමන් මග සකසා ගැනීමට පිහියක් රැගෙන යන්න.
කදු වැටියේ ඉහළ උසම ස්ථානයට ඔබ ගියහොත් එහිදී 1910 වසරේදී Erskine Engraving පිහිටවූ Erskine Mark එක දැකගත හැකිවනවා ඇත. එයට මදක් ඉහළින් කදු මුදුනේ View Point එක පිහිටන අතර එහි සිට බැලූ විට හුන්නස්ගිරිය නගරය හා උඩදුම්බර නගරය ඉතාමත් කදිමව දැකිය හැකිවනවා ඇත. ඊට අමතරව යහන්ගල, දුම්බානාගල, දෝතළුගල, මැදමහනුවර, ගැරඩිගල යන කදු මුදුන් ඉතාම පැහැදිලිව දැකගත හැකිවේ. එසේම ඈතින් පිදුරුතලාගල, හන්තාන, පෙට්ටිගල, අලගල්ල යන කදු මුදුන් දකිය හැකිවේ. තවද මෙහි සිට වික්ටෝරියා, රන්දෙනිගල යන ජලාශ මෙන්ම මහියංගනය ප්‍රදේශයේ සොරබොර ඇතුලු වැව්ද ඉතාමත් පැහැදිලිව දැකගත හැකිවේ. මේ නිසා ඉතාමත් විශාල ප්‍රදේශයක දර්ශනයක් මෙම කදු මුදුනේ සිට අධ්‍යනය කළ හැකිය.
කදු මුදුනේ කදවුරු බැදීම කළ හැකි වන අතර උසම කදු මුදුන අසලම පිහිටි දෙවන උසම ස්ථානයටද ගමන් කළ හැකිය. මෙම කදු තරණය ඉතාමත් පරිස්සමින් කල යුතු අවධානම් එකක් බව ඔබ තරයේ මතක තබා ගත යුතුය. උදේම ගමන ආරම්භ කළහොත හවස් වනවිට කන්දෙන් පහළට බැසගත හැකිවනු ඇත. එසේම කදුමුදුන නිරන්තරයෙන් මිහිදුමෙන් වැසෙන හා වෙනස්වන කාලගුණයකින් යුක්ත් වන බවද ඔබ මතක තබා ගන්න. කාලගුණික වෙනස්කම් වලටද ඔබ සූදානම්ව පැමිණිය යුතු වන අතර කදු තරණයට ඉතාමත් උචිත මාස ලෙස අගෝස්තු හා පෙබරවාරි මාස සැලකේ. තවද පොලිතීන් ප්ලාස්ටික් වලින් මෙම සංවේදී පරිසර පද්ධතිය විනාශ නොකිරීමටද එහි සතුන්ට හානි නොකිරීමටද ඔබ වග බලා ගත යුතුය.
(මෙම ලිපිය සැකසීමේදී Lakdasun.org වෙබ් අඩවිය පාදක කරගෙන ඇති අතර එහිදී ඔබට මෙම කදුවැටිය හා එහි තවත් දර්ශනීය ඡායාරූප රැසක්ම බලගත හැකිය)