පරවියන්ගල එහෙමත් නැතිනම් සබරගමු විශ්ව විද්‍යාල සිසුන් හදුන්වන ආදර කන්ද යනු සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බෙලිහුල්ඔය පඹහින්න ප්‍රදේශයේ පිහිටා ඇති අතිශය මනරම් කදුවැටියකි. මෙම කදුවැටිය පිහිටා ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලය ආසන්නයේම නිසා එහි සිසුන් හා මෙම කදුවැටිය අතර අමුතුම සම්බන්ධයක් ගොඩනැගී ඇත. උසින් මිටර 1500ක් පමණ වන මේ කදුවැටිය අදවනවිට කදු නගින්නන් අතර වඩා ප්‍රසිද්ධ ස්ථානයක් බවට පත්ව ඇත.

ඔබ මෙහි කදු මුදුන දක්වා ගමන ඇරඹීමට නම් පළමුව කොළඹ බදුල්ල මාර්ගයේ පැමිණ පඹහින්න හන්දියේ බැසිය යුතුය. එහිදී ඔබට කදු තරණයේදී වැදගත්වන සියලුම දේ මිලදී ගත හැකිය. කෑම බීම, සිධාලේප, ග්ලූකෝස් හා බැන්ඩේජ් ආදිය එහිදී සපයා ගැනීමට ඔබට හැකිය. කදු නැගීම ආරම්භ කිරීමට නම් පඹහින්න හන්දියේ සිට මීටර 100ක් පමණ ගොස් වම් අතට තිබෙන අතුරු මාර්ගයේ ගමන් කළ යුතුවේ. මෙහිදී හමුවන ගම්මානය හරහා ටික දුරක් යාමට සිදුවන අතර යන මාර්ගය අපැහැදිලි නම් ප්‍රදේශවාසීන්ගෙන් ඊට සහය ලබා ගන්න.

පරවියන්ගල කන්දට යන මාර්ගය ඇත්තේ කලින් සදහන් කල ගම ඇතුලට වන්නටය. එතැන් සිට කැලෑ මාර්ගයක සිදුවන ගමන් අතිශය නිශ්කලංක හා අපූරු එකකි. මෙහිදී ඔබ වඩාත්ම පරිස්සම් විය යුතු වන්නේ කූඩැල්ලන් බහුලව මෙහි සිටිනා නිසාවෙනි. ඊට ගැලපෙන පරිදි ඔබ සූදානම් විය යුතුය. ඉන් පසු හමුවන පයිනස් කැලෑව මැදින් ගමන තරමක් ලිස්සන සුලු බැවින් සුපරික්ෂාකාරී වන්න. කන්ද තරණයට කණ්ඩායමක් සිටීනම් ඔබ සියළු දෙනාගේම ගමන වඩා පහසු වනු ඇත.

ආදර කන්ද තවද ගිනිමැල දල්වමින් රාත්‍රී කදවුරු බැදීමටද කදිම ස්ථානයකි. එහි රාත්‍රියක් ගත කළ හැකිනම් එය අපූරු අත්දැකීමක් වනවා නොඅනුමානය. කන්ද මුදුනේ සිට උදෑසන දර්ශනය අතිශය මනරම් වන අතර එහි සිට පහලින් සබරගමුව විශ්ව විද්‍යාලය හා ඈතින් සමනල වැව මනරම්ව දැකිය හැකිවේ.

තවද වැදගත්ම කාරණය නම් කන්ද මුදුන පොලිතීන් ප්ලාස්ටික් ගෙනවිත් අපවිත්‍ර නොකිරීමයි. සමරගමුව විශ්ව විද්‍යාලයේ සිසුන් දහස් ගණනක් දෙනා මෙම කන්ද තරණය කලද ඔවුන් කන්දේ පවිත්‍රතාව ඉතා හොදින් පවත්වා ගනී. මේ නිසාම එහි ගමන් කරන ඔබත් රැගෙන යන සියල්ල නැවත ගෙනවිත් මේ සුන්දර කදු මුදුන ආරක්ෂා කර ගැනීමට සහාය වන්න.

(Adara Kanda Image Credit: Ishan Kasunthika)

By ishara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *