පිදුරුතලාගල කදු මුදුන මුහුදු මට්ටමේ සිට මීටර 2524ක් එහෙමත් නැතිනම් අඩි 8281 ක උසකින් තමා පිහිටලා තියෙන්නෙ. මේ කන්ද Pedro කන්ද කියලත් හදුන්වනවා. මේ කන්ද පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය නගරයට ඉතා ආසන්නව. ලංකාවේ මුහුදු මට්ටමින් ඉහළ ස්ථානය වීමට අමතරව මේ පිදුරුතලාගල කදු වැටිය වැදගත් වන්නේ ලංකාව බෙදනු ලබන සිතියම් 92 අතරින් 4ක් ම යාවෙන ස්ථානයක් විදියටයි. මහවැලි ගගේ අතු ගංගාවක් වන බෙලිඋල්ඔය නිර්මාණය වන්නේ මේ පිදුරුතලාගල කදු වැටිය පිහිටි වනාන්තර ප්‍රදේශයෙනි.
පිදුරුතලාගල කදු මුදුන මත යුධ ගුවන් හා නාවික හමුදාවල කදවුරු පිහිටලා තියෙනවා. ඒ වගේම මේ ස්ථානය අධි ආරක්ෂිත කලාපයක්. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ, CSN නාලිකාවේ මෙන්ම ටෙලිකොම් ආයතනයේ ප්‍රධාන සම්ප්‍රේශන මධ්‍යස්ථාන මෙහි පිහිටලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රේඩාර් ඇතුළු අධි තාක්ෂණික උපකරණ සහිත සංකීර්ණයක්ද මේ පිදුරුතලාගල කදු මුදුනේ පිහිටලා තියෙනවා. මේ නිසාම සිය ගණනක් හමුදා සෙබලුන් මේ කදු මුදුන ආරක්ෂා කිරිමේ වගකීමේ නිරතවී තිබෙනවා. කලක් මේ කදු මුදුන එල්.ටී.ටී ත්රස්තවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයක් වී තිබීම ඊට එක් හේතුවකි.
මෙම කදුමුදුනට යාමට සංචාරකයින්ට අවසර ඇති අතර ඒ සදහා ඔවුන්ට අවසර ගැනීමට සිදුවේ. එසේම කදුමුදුනට යන විට හමුදාව විසින් නියම කරන නීති හා කොන්දේසි වලට යටත් වීමට ඔවුන්ට සිදුවේ. එහි එක් නීතියක් වන්නේ කදු වැටිය මුදුනේ ඡායාරූප ගැනීම තහනම් වීමයි. ඊට හේතුව වන්නේ එහි ඇති ආරක්ෂාවට ඉන් බලපෑමක් වීමට ඉඩ ඇති නිසාය. කදු මුදුනේ සිට පෙනෙන නුවරඑළිය නගරයේ හා තවත් සීමිත ස්ථානවල ඡායාරූප ගැනීමට සංචාරකයින්ට අවසර හිමිවේ.
ඔබට මේ කදුවැටියට යාමට නුවරඑලිය නගරයේ සිට යාමට ඇත්තේ කිලෝමීටර 8ක් පමණ දුරකි. යන මාර්ගය වංගු සහිත වන අතර කදු මුදුනට යාම එතරම් අපහසු නොවන කටයුත්තකි. එහිදී ඔබේ ජාතික හැදුනුම්පත් හා අනෙකුත් දේ හමුදාව විසින් පරික්ෂා කෙරේ. කදු මුදුනේ සෙබලුන්ගේ නැවතුම් ගොඩනැගිලි හා තවත් ගොඩනැගිලි කීපයකි. ඔබට මේ පිදුරුතලාගල යන මාර්ගයේ කිසිම තැනක් බැසීමට හෝ නැවතීමට අවසර නැත්තේ මෙම කදුවැටිය දිවියන් බහුලව ගැවසෙන තැනක් බැවිනි.
පිදුරුතලාගල කදුවැටිය අවට වනාන්තරයේ අප රටට ආවේනික ශාක හා සතුන් විශාල ප්රදේශයකි. කදු මුදුනේ සිට පෙනෙන දර්ශනයද ඉතා සුන්දර එකකි. නුවරඑලිය නගරය මෙහි සිට පැහැදිලිව පෙනෙන අතර එහි අනෙක් පසට මන්දාරම් නුවර ඇතුලු ප්‍රදේශ පැහැදිලිව පෙනේ. දවසේ වැඩි කාලයක් මීදුමෙන් වැසී ඇති මේ කදුවැටිය මුදුනේ ඇත්තේ දැඩි ශීත කාලගුණයකි. මෙම කදුවැටිය තවම ලංකාවේ සංචාරකයින් අතර ප්‍රසිද්ධ නැත. ඔබ නුවරඑළිය නගරයේ සංචාරය කරන්නේ නම් මේ කදු මුදුනට පැමිණ එහි අසිරිය නැරඹීමටත් අමතක නොකරන්න.
(Piduruthalagala Image Credit: Dulan Uddhika Marasinghe )