අද අප මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ දුම්බර කදුවැටියේ පිහිටි තවත් සුන්දරවූ අප්‍රසිද්ධ දිය ඇල්ලක් පිළිබදවයි. වත්තේගම සිට පන්විල මාර්ගයේ කිලෝමීටර එක හමාරක් ගියවිට හමුවන මේ සුන්දර දිය ඇල්ල නම් රහස් ඇල්ලයි. ඔබ මේ දිය ඇල්ලට මහනුවර සිට යන්නේ නම් පළමුව වත්තේගමට පැමිණිය යුතුය. එතැන් විට පන්විල දෙසට යනවිට පාර අයිනේ පිහිටි මේ දිය ඇල්ල ඔබට දැකගත හැකිය.

රහස් ඇල්ල පළමු කොටස හා දෙවන කොටස ලෙස කොටස් දෙකකි. පළමු කොටස පාරෙන් ඉහල පිහිටා ඇති අතර දෙවැන්න පිහිටා ඇත්තේ පාරෙන් යටය. මේ සුන්දර කුඩා දිය ඇල්ල උසින් මීටර 15ක් පමණ වන අතර එය නිර්මාණය වන්නේ හුන්නස්ගිරිය කදුවැටියෙන් නිර්මාණය වී මහවැලි ගගට ගලා බසින රවන් ඔයෙනි. හුන්නස්ගිරිය කදුවැටිය වූ කලී උසින් මීටර 1437 වන සුන්දර කදුකර කලාපයකි. මේ දිය ඇල්ල අයිති වන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දේවාලේගම්මැද්ද ගම්මානයටය.

දිය ඇල්ල කුඩා වුවුද ජලය අධික කාලයට ඉතාම සුන්දරය. මේ දිය ඇල්ල අසල ඉතා ගැඹුරු තටාකයකි. ඒ නිසා මෙය දිය නෑමට කෙසේවත් සුදුසු නොවේ. මෙහි යන සංචාරක ඔබද දිය නෑමට මෙම රහස් ඇල්ල තෝරාගැනීමෙන් වලකින්න. මීට හේතුව නම් මෙතැන දිය නෑමට ගොස් කීප දෙනෙක්ම මියගොස් ඇති නිසාවෙනි. ඡායාරුප ගනිමින් එහි සුන්දරත්වය පමණක් බැලීම කරන්න.

මෙහි දෙවැනි කොටස පාරෙන් පහළ ඇති අතර එහි සුන්දරත්වය පාරේ සිටම බැලීම උචිතය. මන්ද පහලට යෑම අපහසු නිසාවෙනි. මෙම දිය ඇල්ල වටාද ඉතිහාස කතාවක් නිර්මාණය වී ඇත. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මේ දිය ඇල්ලට ඉහල කදුකර කලාපයේ සැගවී සිට ඇති බව ජනප්‍රවාද ද සදහන් කරනු ලබයි.

එසේනම් මහනුවර අවට පන්විල ප්‍රදේශයේ සංචාරය කරන ඔබ මේ සුන්දර දිය ඇල්ලට පැමිණීමට අමතක නොකරන්න. හැමදාම අප ඔබට කියන පරිදි මේ සුන්දර ස්ථානයත් පොලිතීන්, ප්ලාස්ටික් හා කැලි කසලවලින් විනාශ කරන්න එපා.

මේ දිය ඇල්ල අසලම පිහිට් අනෙක් දිය ඇලි

1) හුලු ගග ඇල්ල (හුලුගග නගරය)

2) තාලිය වැටුන ඇල්ල (අලකොලය වතුයාය)

3) ලෙබනන් වත්ත දිය ඇල්ල (බඹරැල්ල ගෝමරය ලෙබනන්වත්ත)

4) ජෝඩු ඇල්ල(බඹරැල්ල ගෝමරය)

5) සාරි ඇල්ල (බඹරැල්ල)

(Image Credit: Nimesha Nayani)

By ishara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *