රත්න ඇල්ල යනු ලංකාවේ සංචාරකයින් අතර ජනප්‍රිය තවත් සුන්දර දිය ඇල්ලකි. කලින් ලිපියේදී අපි මහනුවර-මහියංගන මාර්ගයේ ඇති සුන්දර ස්ථානයක් වන 18 වංගුව ගැන කතා කලා ඔබට මතක ඇති. අද අපි කතා කරනුයේ මහනුවර මහියංගන මාර්ගයේම ඇති තවත් සුන්දර ඉසව්වක් වන සුන්දර රත්න ඇල්ල පිළිබදවයි.

රත්න ඇල්ල පිහිටා ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ හසලක රත්න-ඇල්ල ගමේය. මහියංගනය නගරයේ සිට නුවර පාරේ හසලක නගරයට පැමිණ එතැන් සිට කිලෝමීටර කිහිපයක් දුරිනි. මහනුවර මහියංගනය මාර්ගයටද මෙම සුන්දර දිය ඇල්ල දර්ශනය වන අතර කලින් අප කී දහ අට වංගු පසුකර කිලෝමීටර කීපයක් යන විට මෙම දිය ඇල්ල දිස්වේ. මෙය නක්ල්ස් කදු කදුකරයේ සිට පැමිණෙන හසලක ඔයෙන් පෝෂණය වන ඉතාම චමත්කාරජනක ස්ථානයකි.

උස අතින් ගත්කල මෙම දිය ඇල්ලට ලංකාවේ උසම දියඇලි ලැයිස්තුවේ 10 වන ස්ථානය රත්න ඇල්ලට හිමිවේ. උසින් මීටර 101 වන මෙය අතිශය ලස්සන එකකි. මෙහි අවට වටපිටාවද අතිශය සුන්දරය. දියඇල්ල ලගට යාමට නම් ඔබට ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර කීපයක් පයින් යාමට සිදුවේ. එහිදී තවත් සුන්දර ඉසව්වක් වන හසලක වැවද ඔබට දැකගත හැකිය. ඔබ කොළඹ හෝ වෙනත් ප්‍රදේශයක සිට මේ වෙත ලගාවන්නේ නම් මෙහි තනිවම ගමන් කිරීම නොකරන්න. ගම් වැසියන් සමග කතා කර ඔවුන්ගෙන් යන මාරගය හා වෙනත් විස්තර ලබා ගන්න. මෙහි ඇල්ල ලගට ගමන් නොකට නම් එහි සුන්දරත්වය අත්විදීම කළ නොහැක්කකි. එසේම වැහි කාලයටනම් මෙහි ගමන් කිරීම ඉතා දුෂ්කරය.

රත්න ඇල්ල ඉතිහාසය පැරණි රාවණා යුගය දක්වා ඇදී යයි. එහිදී රාවණා රජු මෙම ප්‍රදේශයේ සීතා කුමරිය සමග විසූ බව ජනප්‍රවාද සදහන් කරයි. එහිදී රාවණා රජු සීතා සමග මෙම දියඇල්ල ප්‍රදේශයේ දිය කෙලියේ යෙදුනු බවද කියැවේ. ඒ නිසාම මෙම ප්‍රදේශයේ ගුප්ත බලවේග ක්‍රියාත්මක වන බව කියැවේ. එම සිද්ධි වලට මුහුණු දුන් පිරිස් හා කතා පිළිබදවද අපට අසන්නට ලැබුණි.

කෙසේවුවද අපට ඔබට පැවසීමට යමක් ඇත. එනම් කිසිමවිටෙක මෙහි නොදැන ගමන් නොකරන්න. ගම්වැසියන් හෝ දන්නා කෙනෙකු සමග පමණක් ගමන් කිරීම සුදුසුය. පසුගිය 2018 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු මෙහි දිය නෑමට ගොස් මරණයට පත්විය. ඒ නිසා කිසිම විටෙක මෙහි දිය නෑම නම් නොකරන්න. ගම්මුන්ට අනුව නම් මෙය බිලිගන්නා ස්ථානයකි. එබැවින් හැමවිටම ඔබේ ආරක්ෂාව ඔබම ලබා ගන්න.

තවම මෙහි සංචාරක ව්‍යාපාරය දියුණු වී නොමැත. තවද මෙම දිය ඇල්ලද ලංකාවේ ජනයා අතර ප්‍රසිද්ධ එකක් නොවේ. ඔබැවින් අවට පරිසරයද දූෂණය වී නොමැත. ඔබ මෙම දිය ඇල්ල නරඹා එහි අසිරිය විදගෙන මතක සටහන් පමණක් රැගෙන යන්න. කිසිමවිටෙක පරිසරයට හානියක් කරන්න එපා.

එසේනම් ඔබ මහනුවර මහියංගනය මාර්ගයේ ගමන් කලහොත් මෙම දිය ඇල්ලේ අසිරිය නැරඹීමට අමතක නොකරන්න. මෙය තවමත් ලංකාවේ අය වැඩිපුර නොයන ලස්සන ස්ථානයකි.

By ishara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *