ඉතින් අද අප මේ ලිපිය තුළින් කතා කරනු ලබන්නේ සුන්දර ගාලු පුරවරයේ තවත් එක් සුන්දර වෙරළ තීරයක් ගැනයි. ඒ වෙන කොහෙවත් නොව සුන්දර රූමස්සල වෙරළ තීරය ගැනයි.
ගාලු පුරවරය කියන්නේ ලංකාවේ වගේම විදේශීය සංචාරකයින් බොහෝමයක් පැමිණෙන තැනක්. හික්කඩුව, උනවටුන වගේ ගොඩක්ම ප්‍රසිද්ධ නොවුනත් රූමස්සල කියන්නේ ගාලු පුරවරයට යන ඔබ අනිවාර්යයෙන්ම යා යුතු තැනක්. මේ සුන්දර වෙරළ තීරයට යාමට නම් ඔබ ගාල්ල සිට මාතර මාර්ගයේ කිලෝමීටර 5ක් මුලින් ගමන් කළ යුතුය. එහිදී ඔබට රූමස්සල කන්ද හමුවන අතර එහි සිට රූමස්සල කන්ද හරහා කැළය මැදින් කිලෝමීටරයක් පමණ පහලට බැසීමෙන් මේ නිල්වන් මුහුදු තීරය හමුවේ. මේ කැලය මැදින් ගමන නම් තරමක් දුෂ්කර එකක් බවද සලකන්න.
රූමස්සල වෙරළ තීරය Jungle Beach ලෙසද හදුන්වන අතර බොහෝ දේශීය සංචාරකයින් අතර ‘රූමස්සල’ යන නමට වඩා ‘ජන්ගල් බීච්’ යන නම ප්රකටය.
නිල්පාට නොගැඹුරු මුහුදු තීරයත්, සුදුපාට වැලි තලාවත් සංචාරකයින් නිතැතින්ම ආකර්ෂණය කර ගැනීමට සමත් වෙයි. ඒ වගේම රැල්ල අඩු නිසා මෙන්ම ගැඹුර අඩු නිසාත් දිය නෑමට හා අනෙකුත් ජල ක්‍රීඩා සදහා මේ වෙරළ තීරය අතිශය සුදුසුය. කුඩා දරුවන්ටත් මේ ස්ථානය දිය නෑමට ඉතා සුදුසුය. ඒ වගේම නිදහසේ විවේකීව කාලය ගත කිරීමටත් මේ වෙරළ තීරය කදිම ස්ථානයකි.
ඔබට මෙම වෙරළ ප්‍රදේශයේ ආහාර ලබාගැනීමට Jungle Beach Resturant නම් ස්ථානයක්ද මෙහි වේ. එසේම කොරල්පර නැරඹීමට අවශ්‍ය සංචාරකයින් සදහා වෙනම මුදල් ගෙවා ලබාගත හැකි බෝට්ටු සේවාවක්ද මෙහි වේ.
එසේනම් ඔබ ගාල්ල හා ඒ අවට සංචාරයේ යෙදෙන්නේ නම් මේ සුන්දර රූමස්සල වෙරළ තීරයටත් පැමිණීමට අමතක නොකරන්න. නිදහසේ කාලය ගත කිරීමට Beach එහෙමත් නැතිනම් මුහුදු වෙරලවල් සොය සොයා යන අයට නම් මේ වෙරළ තීරය ඉතා කදිම ස්ථානයක් බව සදහන් කළ යුතුමයි.
(Rumassala Image Credit: @nilrandhafonseka from IG )