දකුණු ලක හම්බන්තොට ප්‍රදේශයේ බොහෝ දෙනෙක් සංචාරය කරන ස්ථාන දෙක ලෙස අපට කතරගම පුදබිම හා යාල ජාතික වනෝද්‍යානය හැදින්වීමට හැකිය. නමුත් කතරගම පැමිණෙන බොහෝ දෙනා එහි පැමිනෙනුයේ සංචාරයකට වඩා වැද පුදා ගැනීමේ අටියෙනි. ඔබ කතරගම පැමිණෙනවානම් වැදපුදා ගැනීමට මෙන්ම සංචාරය කිරීමටද අපේක්ෂා කරන්නේ නම් ඒ සදහා යායුතු වැදගත් ඓතිහාසික ස්ථානයක් ලෙස සිතුල්පව්ව හැදින්විය හැකිය. මේ සදහා ඔබේම වාහනයක් තිබේනම් කදිමය.
සිතුල්පව්ව රජමහා විහාරය පිහිටා ඇත්තේ දකුණු ලක හම්බන්තොට දිස්ත්‍රික්කයේය. ඔබ මෙම විහාරයට පැමිණීමට නම් තිස්සමහාරාම කිරින්ද මාර්ගයේ හමුවන යෝධකණ්ඩිය වැව පසුකොට හමුවන කඩමණ්ඩියෙන් වමට හැරී කිලෝමීටර 15ක් පමණ ගමන් කළ යුතුය. මෙම විහාරයට යන මාර්ගය වැටී ඇත්තේ යාල අභයභූමියට අයත් ප්‍රදේශයක් හරහා බැවින් ගමන තරමක් දුෂ්කරය. Google Maps භාවිතයෙන් ඔබට සිතුල්පව්ව පුදබිම පහසුවෙන් සොයාගත හැකිය.
සිතුල්පව්ව යනු ඉතිහාසීය වශයෙන් මෙන්ම ආගමික වශයෙන්ද ඉතාම වැදගත් ස්ථානයකි. මෙම විහාරයේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව යුගයට දිව යන අතර කාවන්තිස්ස රජු විසින් මෙම විහාරය මුල් වරට කරවූ බව මූලාශ්‍ර සදහන් කරයි. අතීතයේ චිත්තල පබ්බත විහාරය ලෙසද හදුන්වා ඇත්තේ සිතුල්පව්ව පුදබිමයි.
මෙම විහාරය අඩංගු පුදබිමේ ස්වභාවික ගල්ලෙන් රැසක්ම දැකිය හැකිය. ඒවායේ එකළ භික්ෂූන් වහන්සේලා වැඩසිට ඇතිබව කියැවේ. මෙම ගල්ලෙන් භික්ෂූන් වහන්සේලාට පූජාකළ පුද්ගලයින්ගේ නම් ආදිය හා තානාන්තරද එහි අන්තර්ගත වේ. මෙහි ඇති සමහර ලෙන්වල ඉපැරණි චිත්‍ර පැවති බව කියැවේ. නමුත් එම චිත්‍ර අදවන විට විනාශ වී ගොස් ඇත. ඉතිහාසයට අනුව වසභ රජු විසින්ද මෙහි විහාර 10ක් කරවූ බවද සදහන්.
දුටුගැමුණු මහරජතුමන් විසින් එළාර යුද්ධයට යාමට පෙර මෙහි විසූ භික්ෂූන් වහන්සේලාට ධානයක් දී ආශිර්වාද ලබාගත් බවද කියැවේ. පර්වතය පාමුල ඇති විශාල ගල්ගුහාවේ පෞරාණික ප්‍රතිමා රැසක්ම අඩංගුය. මෙම පුදබිමේ මහා සිතුල්පව්ව හා කුඩා සිතුල්පව්ව ලෙස හදුන්වන පර්වත දෙකකි. එම පර්වත දෙකේම චෛත්‍ය දෙකකි. මහා සිතුල්පව්වට නැගෙනහිර දෙසින් කුඩා සිතුල්පව්ව පිහිටා ඇත.
මෙම ඓතිහාසික පුදබිමේ පොකුණු, බුදුපිළිම ඇතුළු පැරණි නටබුන් රැසක්ම දැකගැනීමට පුලුවන. එසේම ගල මුදුනට පෙනෙන ඈත දර්ශනයද ඉතාමත් චමත්කාරජනක බව කිව යුතුමය. එසේනම් රුහුණු පුරවරයේ යාල හෝ කතරගම පැමිණෙන ඔබ මේ ඓතිහාසික සිතුල්පව්ව පුදබිමට පැමිණීමටද අමතක නොකරන්න.
(සිතුල්පව්ව රජමහා විහාරයේ ඡායාරූව අයිතිය: Røvin Shanila )