උඩරට කදුකරය තුළ පිහිටි දිය ඇලි අතිශය සුන්දරය. අද අප කතා කරනුයේ උඩරට සුන්දරත්වය වඩාත් වැඩි කරන තවත් ප්රසිද්ධ දිය ඇල්ලක් ගැනයි එනම් ශාන්ත ක්ලෙයාර් හෙවත් සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල ගැනයි. විදේශිකයින් ලිට්ල් නයගරා හෙවත් පුංචි නයගරාව ලෙස හදුන්වන මෙම ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල පිහිටා ඇත්තේ තලවකැලේ නගරය ආසන්නයේය.
ශාන්ත ක්ලෙයාර් තේ වතු යාය මැද පිහිටා තිබෙන මෙම රමණීය දිය ඇල්ල හැටන් තලවකැලේ මාර්ගයේ ගමන් කරන ඕනෑම කෙනෙකුට පහසුවෙන් දැකිය හැකිය. එම මාර්ගයේදී ඔබ ගමන් කරන රථයෙන් බැස මෙම දිය ඇල්ල බැලීමට වේදීකාවක්ද වේ. එතැනදී ඔබට දිය ඇල්ලේ ඡායාරූප ගැනීමද කරන්නට පුලුවන. ඇල්ල පිහිටා ඇත්තේ තලවකැලේ නගරයේ සිට කිලෝමීටර 3ක දුරකිනි.
තට්ටු දෙකකට කඩා හැලෙන මෙම දිය ඇල්ල උසින් අඩි 263ක් හෙවත් මීටර 80ක උසකින් යුක්ත වේ. මෙය ලංකාවේ පිහිටි පළලින් වැඩිම දිය ඇල්ලක් ලෙසද සලකනු ලැබේ. දිය ඇල්ලට ඉහලින් පිහිටි ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය නිසා ඇල්ලේ ජල ප්රමාණය අඩු වැඩි වේ. හැම පැය භාගයකටම වරක් ඇල්ලට ජලය මුදා හැරීමද ජලාශ පාලනාධිකාරිය විසින් කරනු ලබයි.
ලංකාවේ උසම දිය ඇලි ලැයිස්තුවේ 20 වන ස්ථානය ගන්නා ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල කොත්මලේ ඔයෙන් පෝෂණය වේ. මුහුදු මට්ටමේ සිට මීටර 1060කින් යුතු මෙය උඩරට දුම්රිය මාරගයේ කෝච්චියෙන් බදුලු යෑමේදීද දැක ගැනීමට හැකිය. මේ අසලම පිහිටි තවත් දිය ඇල්ලක් වන්නේ ඩෙවොන් ඇල්ලයි.
එකළ විසූ ඉංග්රීසි ජාතිකයෙකු සිය පෙම්වතිය වූ ජෙනිෆර් ක්ලෙසියා සිහිවීම සදහා මෙම දිය ඇල්ලට මෙම නම යෙදූ බවද කියැවේ. එසේනම් ඔබ හැටන් තලවකැලේ මාර්ගයේ කෙදිනක හෝ ගමන් කරන්නේ නම් මෙම දිය ඇල්ලේ අසිරිය විදගෙනම යන්න…
( St Clair Waterfall Image Source: ABSOLUTE SRI LANKA )