අද අප මේ ලිපිය තුළින්ද කතා කරනු ලබන්නේ දුම්බර මිටියාවතේ නක්ල්ස් කදුවැටියේ සැඟවුණු තවත් සුන්දර දිය ඇල්ලක් ගැනයි. මේ දිය ඇල්ලද අප කලින් ලිපිවලින් කතා කළ හුලු ගග විසින් නිර්මාණය කරන්නකි. හුලුගග නගරයේ දී ඔබට හුලුගග ඇල්ල දැකගත හැකිවනවා සේම එතැන් සිට පටු මාර්ගයක කිලෝමීටර් 3ක් පමණ අලකොලය තේ වතුයාය දෙසට ගියවිට මෙම තාලිය වැටුණු ඇල්ල හමුවේ.

හුලු ගඟ නගරයේ සිට දිය ඇල්ල දෙසට යන මාර්ගය බෑවුම් අධික වූ පටු මාර්ගයකි. ඒ නිසා ඔබ යන රථය පරිසමින් ධාවනය කරන්නට සැලකිලිමත් විය යුතුය. යන මාර්ගයේ තේ වත්ත මැදින් දිය ඇල්ල දර්ශනය වන අතර මෙහි වංගුවකදී ඔබට වාහනය නවතාලන්නට සිදු වෙන්නේ එතැන් සිට දිවෙන අඩි මාර්ගයේ වාහනය ධාවනය කිරීම අපහසු නිසාය. තේ වත්ත මැදින් දිවෙන ඒ අඩි පාර හරහා කිලෝමීටරයක පමණ ගමනකින් පසු ඔබට දිය ඇල්ල වෙත ලගාවිය හැකිය.

දිය ඇල්ල අසලට ගමන් කලවිට ශරීරයේ තිබෙන තෙහෙට්ටුව ඉබේම නැතිවී යයි. කොටස් දෙකකට කඩා හැලෙන මෙම දිය ඇල්ලද අනෙක් දිය ඇලි සේම ඉතාම මනරම් එකකි. මෙහි නොගැඹුරු තටාකය සංචාරකයින්ට දිය නෑම සදහා සුදුසු වේ. නමුදු ඇල්ල කඩා හැලෙන ස්ථානයේ දිය නාමින් වලකින්න. හැමවිටම ඔබේ ආරක්ෂාව පළමුකොට තබා දිය නෑම ප්‍රවේශමින් සිදු කරන්න.

වර්ෂා කාලයට විශාල ජල ප්‍රමාණයක් සහිතව ඉතා සුන්දරව මේ දිය ඇල්ල දර්ශනය වේ. ඒ කාලයට ඇල්ලේ දිය නෑම කෙසේවත් කිරීම උචිත නොවේ. මේ දිය ඇල්ලට ප්‍රදේශවාසීන් විසින් අලකොල ඇල්ල යන නමද භාවිතා කරනු ලබයි.

තවමත් දූෂිත නොවූ අප්‍රසිද්ධ මේ දිය ඇලි පරිසරය ඔබගේ අකටයුතු කම් නිසා විනාශ වීමට ඉඩ නොහරින්න. එසේනම් පන්විල හරහා හුලුගග වෙත එන ඔබ මේ ඇල්ලේ සුන්දරත්වයද නැරඹීමට අමතක නොකරන්න.

මේ අසල ඇති අනෙක් සොදුරු දිය ඇලි;

  • සාරි ඇල්ල
  • ජෝඩු ඇල්ල
  • ලෙබනන් වත්ත ඇල්ල
  • රහස් ඇල්ල

By ishara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *