තුන්හිස්ගල යනු නක්ල්ස් කදුකර කලාපයේ පිහිටා ඇති කදු මුදුන් 34 අතුරෙන් හයවන උසම කදුමුදුනයි. මෙහි උස මුහුදු මට්ටමේ සිට මීටර 1617 ක් ලෙස මූලාශ්‍ර සදහන් කරයි. කන්ද පැති තුනකින් මධ්‍යගතව පැවතීම නිසා මෙයට තුන්හිස නමැති අර්ථයෙන් තුන්හිස්ගල යන නම භාවිතා කර ඇත. ඇත්තෙන්ම එහි ඇත්තේ අපූරුවූ හැඩයකි.

තුන්හිස්ගල තරණය කිරීම ඉතා අසීරු එකක් වන අතර එය පිහිටා ඇත්තේ නක්ල්ස් කදුකරයේ මධ්‍යට වන්නටය. මෙම ප්‍රදේශය ජනශූන්‍ය කලාපයක් වන අතර අවට කලාපය ඝන කැලෑවෙන් වැසී ඇත. තුන්හිස්ගල යන්න ලංකාවේ බොහෝ සංචාරකයන් අතර විශාල ප්‍රසිද්ධියක් නැති ස්ථානයක් වූවත් කදු නගින්නන් අතර ඉතා ප්‍රසිද්ධ ස්ථානයක් වේ. මෙම කදුවැටිය මගින් මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක වෙන්වීමද සිදුවේ.

මෙම කන්ද තරණය කිරීමට ඔබ කැමති නම් මුලින්ම මහනුවර සිට වත්තේගමටද එහි සිට කිලෝමීටර් 28 ක් දුරින් පිහිටි බඹරැල්ලටද පැමිණිය යුතුය. බඹරැල්ල ගෝමරේ හන්දියෙන් ඉහළට ඇති ලෙබනන් වතුයායට එහි සිට පැමිණ එතැන් සිට හමුවන රත්නගිරිය වත්ත තුළින් කන්දට ඇති ගමන් මග පිහිටා ඇත. ඝන කැලෑව තුළින් කදු මුදුනට යන ගමන අතිශය දුෂ්කර එකකි. එහිදී එනසාල් වාඩි හමුවන අතර ඒවායේ ජීවත් වන මිනිසුන්ද ඔබට හමුවීමට හැකිය. ඔවුන්ගෙන් ඔබට කදු මුදුන තෙක් ගමන් ගැන වැඩි විස්තර ලබා ගත හැකිය.

තුන්හිස්ගල මුදුනේ ඇත්තේ කුරු ගස් ය. මේවා ලංකාවේ බොහො කදුවලදී දැකිය නොහැකි එකක් වන නිසා එය අපූරු අත්දැකීමකි. එම කුරු ගස් හරහා කන්දේ හිස් තුන හමුවන තැනට ඔබට පරිස්සමින් ගමන් කළ හැකිය. මෙම ගමන අතිශය දුෂ්කර වන අතර අතරමගදී බඹර වද මෙන්ම මාවුස්සා වැනි ශාක වලින්ද කරදර වීමට ඉඩ ඇත. එබැවින් ඉවසීමෙන් හා පරිස්සමින් ඔබ ගමනාන්තය දක්වා ගමන් කල යුතුවේ.

කන්ද මුදුනේ සිට ලකේගල අයත් මීමුරේ ප්‍රදේශත්, නක්ල්ස් කදු පහ, ගොම්බානිය සහ අනෙකුත් බොහෝ කදු මුදුනුත් පැහැදිලිව දැකිය හැකිය. එසේම රිවර්ස්ටන්, මානිගල ඇතුළු ප්‍රදේශත් පැහැදිලිව දැකිය හැකිවේ. තුන්හිස්ගල අවට ප්‍රදේශය තුළින් ජල පහරවල් රැසක්ම ආරම්භ වන අතර මෙම කලාපය සංවේදී ජල පෝෂක ප්‍රදේශයකි. එබැවින් මෙහි යන ඔබ පරිසරයට හානියක් නොකර ඔබේ ගමන නිමකර පැමිණීමට අනිවාර්යයෙන් කළ යුත්තකි.

(Photo Credit: Ama Kalana )

By ishara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *